පී. බී අලහකෝන් මහතා

           නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට එද්දී ඔබ දුටු නිල්ලඹ වතුයායේ හිමිකරු වූයේ අලහකෝන් මහතාය. තේ, කෝපි සහ කරදමුංගු වවන මේ වත්ත ඉතා සශ්‍රීක එකක් විය. එය ශ්‍රී ලංකාවේ අනර්ඝතම කෝපි නිෂ්පාදනය කරන ලද එක් ස්ථානයක් විය. තමාගේ වත්ත බලන්නට ආ බොහෝ අවස්ථාවන්හිදී මධ්‍යස්ථානයට ඒමට ද අලහකෝන් මහතා පුරුදුව සිටියේය. එහෙත් රෝගාතුර වූ පසු එසේ ඒමට අපහසු විය. කලින් පැමිණි විට අපට පෙනී ගියේ ඔහු ස්ථානය ගැන දැක්වූ දැඩි උනන්දුවය. නිවසට පෙරලා පැමිණි පියකු දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය ගැන විමසන්නාක් මෙන් මධ්‍යස්ථානයේ නඩත්තුව හා මුදල් තත්වය ගැන විමසන ආකාරයය

    වත්තේ පිහිටි ළිඳක් මධ්‍යස්ථානයේ පරිහරණය සඳහා පවරා දෙන ලද්දේ ද ඔහු විසින්මය. එහි ආ විටක දිවා ආහාරයට පෙර, සාමාන්‍ය ගැමියකු මෙන් පනිට්ටුවක් එක් අතකිනුත් තුවායක් අනෙක් අතිනුත් අරගෙන නාන්නට ළිඳ වෙත පිය නගන අලහකෝන් මහතා සුපුරුදු දර්ශනයක් විය. එසේ යන විට ඔහු දුටු කිසිවකු මේ වත්තේ අයිතිකාරයා යයි නොසිතන්නට ඇත. නිල්ලඹ මධ්‍යස්ථානයේ අපෙන් ලැබෙන දිවා ආහාරය ඔහු බෙහෙවින් අගය කළේය. බීමට කැමති කුමක් දැයි ඇසූ හැම විටකම ඔහු ඉල්ලා සිටියේ කහට තේ සමග සීනි ටිකක් පමණි. ඔහු අප සමග කුස්සියේ වාඩි වී සිටින එබඳු අවස්ථාවක දී අපට මධ්‍යස්ථානය ගැන තොරතුරු ඔහු සමග බෙදා හදා ගත හැකි විය. වත්මන් කටයුතු ගැන විමසන ඔහුට ඒ තොරතුරු සපයන අතර අපට ස්ථානයේ අතීතයත් එය නිර්මාණය කිරීමට දරන ලද උත්සාහය සහ කරන ලද පරිත්‍යාග ද ඔහුගෙන් දත හැකිවිය.

    1970 දී ඇමෙරිකානු භික්ෂුවක් වන ආකාශ හිමියෝ ධර්මරාජ විද්‍යාලයේ භාවනා වැඩ සටහනක් පැවැත්වූහ. නගරයේ පවත්වන ලද එබඳු ප්‍රථම වැඩ සටහන වූ එය ඉතා ජනප්‍රිය වූයේය. එයට සහභාගි වූ අලහකෝන් මහතාගේ මස්සිනා අලහකෝන් මහතා ද ඒ මගට යොමු කළේය. ටික කලකට පසු ඒ භික්ෂුව විසින්ම පේරාදේණිය විශ්ව විද්‍යාලයේ පවත්වන ලද භාවනා පන්තියට අලහකෝන් මහතා සහ ඒ මැතිනිය ද සහභාගි වූහ. භාවනාව ගැන උනන්දුවක් දක්වන්නට වූ ඒ දෙදෙනා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු බංගලාවේ පවත්වන භාවනා වැඩසටහන්වලට නිති පතා සහභාගී වන්නට පටන් ගත්හ. බංගලාව භාවනාව සඳහා ලද නොහැකි වූ කල්හි අලහකෝන් මහතා මධ්‍යස්ථානය ඉදි කිරීමේ තීරණයට එළඹියේය. සිය ආධ්‍යාත්මික සගයන් වූ ගොඩ්වින්, පරාක්‍රම ප්‍රනාන්දු සහ ධම්මික හිමියන් ද සමග ශ්‍රී ලංකාවේ භාවනා මධ්‍යස්ථානවලට ගොස් ඒවායේ පසු බිමත් ඒවා ක්‍රියා කරන ආකාරයත් විමසා බැලුවේය. තමන් ඉදිකරන ස්ථානයට වැඩම කර එහි තතු විමසා බලා අදහස් දක්වන ලෙස ගරු කටයුතු භාවනා ගුරුවරයෙකු වූ කඳුබොඩ සීවලී හිමියන්ට ඇරයුම් කළ අලහකෝන් මහතා ඒ උපදෙස් ද ලබාගත්තේය.

    ඔහුට වුවමනා වූයේ කැමති කාට වුවත් පැමිණ වියදමක් නොදරා භාවනා කිරීමට පහසුව සලසන තැනක් ඉදිකිරීමටය. ස්වාධීන වූත් ස්වයංපෝෂිත වූත් බාහිර ප්‍රජාවගේ ආධාර නැතිව පවත්වාගෙන යාහැකි වූත් තැනක් ඉදිකිරීමටය. අක්කර දහයක භූමි භාගයේ අක්කර පහක් ගොඩනැගිල්ලට වෙන් කරන ලද අතර ඉතිරි හරිය මධ්‍යස්ථානයේ නඩත්තුව සඳහා වගා කිරීමටය. නිල්ලඹ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රථම ගිහි භාවනා මධ්‍යස්ථානය විය.

    1996 අග දී අවසන් වරට එහි පැමිණි අලහකෝන් මහතා බෙහෙවින් සතුටට පත් වූයේ ආරම්භයෙන් විසි හත් වසරක් ගත වූ පසුත් එය මනාව ක්‍රියාත්මක වන බව දැකීමෙනි. ඔහුගේ දෙනෙතට සතුටු කඳුළු ගලනු දැක ගත හැකි විය. ඒ අවස්ථාවේ ඔහු විසින් සඳහන් කළ කරුණු දෙකක් විය. එකක් ජීව දානයක් පිරි නැමීමය. එයට ඔහුගේ බිරිය සහ දරුවන් ද එකඟ වූයෙන් ඔහුගේ උපන් දිනය වන ජනවාරි 26 වැනි දා ඔහුගේ වැටුපෙන්, භාවනාවට එන මූලික අවශ්‍යතා සඳහා මුදල් නැති අයට උපකාර කරනු වස් අරමුදලක් පිහිටුවීමය.

    කාලය, ධනය, ශ්‍රමය හා දේපළ අතින් ද ඔහු විසින් කරන ලද පරිත්‍යාගය කියා නිම කළ හැක්කක් නොවේ. වසරකට නේවාසික භාවනාකරුවන් 1000 කට වඩා පිරිසක් මෙහි දී භාවනාව පුරුදු කරමින් තමන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය ප්‍රශ්න විසඳා ගන්නට සමත් වන්නෝය. මෙසේ තම දිවිය සරු කරගන්නා පිරිසට භික්ෂු භික්ෂුණීන්, දේශීය හා විදේශීය ජනයා සහ සරසවි සිසුන් සමග සාමාන්‍ය පාසල් සිසුවෝ ද අයත් වන්නාහ. බෞද්ධ අබෞද්ධ දෙපක්ෂයම එහි ආවෝය. අලහකෝන් මහතා යුගයට ඔබින පුද්ගලයෙකු වු බවට කිසිදු වාදයක් නැත.

    අපගේ මුල්ම ගුරුවරයා වූ ගොඩිවන් සමරරත්න මහතා නිසා මධ්‍යස්ථානය ජාත්‍යන්තර පිළිගැනීමක් ලද බව කිව යුතුය. නිල්ලඹ සහ ගොඩ්වින් විසින් දෙන ලද ආදර්ශයට අනුව පිහිටුවන ලද භාවනා මධ්‍යස්ථාන දැන් ලොව පුරා දක්නට ඇත. නිල්ලඹ මධ්‍යස්ථානයේ ආදර්ශ පාඨය වනුයේ 'මිනිස් පියුම පිබිදෙන්නේ සමාජය නමැති විලෙහිය' යන්නය. අලහකෝන් මහතා ද එසේ පුබුදු වූවෙක්මය. ඔහු සිය යුගයට අයත් වූවකු යයි කිව යුත්තේ තමාගේ දර්ශනය සපුරා පල ගැන්වූ හෙයිනි.

    අලහකෝන් මහතා සහ ඔහුගේ බිරිය ද මධ්‍යස්ථානයට පැමිණ සිය භාවනා හැකියාවන් වර්ධනය කරගැනීමට පුරුදුව සිටියහ. අන් අයට වඩා කිසිදු පහසුවක් හෝ සැලකිල්ලක් බලාපොරොත්තු නොවූ ඔවුහු මධ්‍යස්ථානයේ නීති රීති ද අකුරටම පිළිපැද්දෝය. අලංකාර කුටි දෙකක් මධ්‍යස්ථානයට පූජා කරන්නට ද අලහකෝන් මැතිනිය පියවර ගත්තාය. මධ්‍යස්ථානයේ පීතෘ වූ අලහකෝන් මහතාට අපි කෘතඥ වන්නෙමු. ඔහු විසින් රැස්කරගන්නා ලද කුසල් බලයෙන් ඔහුගේ සසර ගමන කෙටි වේවා. ඔහු දුකින් මිදේවා. අතිශය බලවත් වෙනස්කම් සිදුවන මෙබඳු අවදියක අපේ සුහදතාව සහ සුබ පැතුම අලහකෝන් පවුලට පිරිනැමෙන්නේය. 

'Dhammaja' දහම් සඟරාව ඇසුරිනි