උපුල් මහතා සමග කල සාකච්ඡාවක් ඇසුරිනි
භාවනා පුහුණුවක අරමුණ

       භාවනාව යනු අප තුළ තිබෙන ආධ්‍යාත්මික කුසලතාවයන් සහ ගුණ ධර්ම හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගැනීමයි. ඒ ආධ්‍යාත්මික හැකියාවන් සහ ගුණධර්ම උදවුවෙනවා අපට නිවී සැනසිල්ලේ සතුටින් නිදහසේ ජීවත් වෙන්නත් අනිත් අයට නිවී සැනසිල්ලේ නිදහසේ මෙන්ම සතුටින් ජීවත් වෙන්න මඟ පෙන්වන්න උදව් කරන්නත්. ඒ සඳහා අප පුහුණුවක් ලැබිය යුතුයි. භාවනාව කියන දේ නිරුත්සාහකව සිදු වෙන්නේ නැහැ. උත්සාහයෙන් පුහුණු වෙන්නට ඕන. මේ සඳහා පියවරවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දැනගැනීම කියන එක. අප කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද කියන කාරණා දැනගත යුතුයි. 'පජානාති' කියා පාලියෙන් කියන්නේ. භාවනාව සම්බන්ධයෙන් තියෙන, හැමෝම වගේ අත් පොතක් විදියට පාවිච්චි කරන සූත්‍ර දේශනාවනේ සතිපට්ඨාන සූත්‍රය. එහි තිබෙන පිළිවෙල තමයි මෙය. එහි පළවෙනි පියවර විදියට කියන්නේ 'පජානාති' දැනගන්න කියන එක. අප කළ යුත්තේ කුමක්ද කියා දැනගන්නට ඕන. එතකොට භාවනා පුහුණු පන්තියකින් හරි සතියක දෙකක පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙලා හරි එහි දී කෙරෙන මුල්ම කාරිය තමයි මොකද්ද භාවනාව කියන්නේ? ඇයි අප භාවනා කරන්නට ඕන? කොහොමද කරන්නේ? කියන එක දැනගන්න එක. දැනගැනීම කියන්නේ අප ලබාගන්නා දැනුමක්. එය පොතකින් හෝ ගුරුවරයෙකුගෙන් විය හැකියි. ඒ මූලික දැනුම නොමැතිව, ඒ පසුබිම නැතිව භාවනාව කියන සමස්ථ කාර්යය කෙරෙන්නේ නැහැ කා අතින්වත්. කරන්නත් බැහැ. පුංචි භාවනා ක්‍රමයක් පුහුණු කරගෙන යන්න පුළුවන් කොහෙන් හරි අල්ලගෙන නමුත් බෞද්ධ භාවනාවෙන් බලාපොරොත්තු වෙන පළල් වෙනස, පරිවර්ථනය සිද්ධ වෙන්නේ නැහැ.

භාවනා මධ්‍යස්ථානයක ඇති වැදගත්කම

       අප දන්නවා අප නගරයක සිටියත් ගමක සිටියත් ඒ නගරයෙත් ගමෙත් ඒ සාමාන්‍ය ජීවිතයේ නැති පරිසරයක් තමයි භාවනා මධ්‍යස්ථානයක තිබෙන්නේ. එකක් තමයි එය සමාජයෙන් ටිකක් වෙන්වුණු තැනක්. ඒ නිසා සමාජයේ තිබෙන කලබල, කාර්ය්‍ය බහුලත්වය, ඝෝෂාකාරී බව  සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානයක නැහැ. එතකොට එක පැත්තකින් බැලුවහම භාවනා මධ්‍යස්ථාන තිබෙන්නේ කැලෑවල, කඳුමුදුන්වල, ගල් ගුහාවල වැනි බොහොම ස්වභාවික පරිසරවල වුණාට ඒ භාවනා මධ්‍යස්ථානයක් ඇතුලේ තියෙන්නේ අර සාමාන්‍ය ජන ජීවිතයත් එක්ක බැලුවම කෘත්‍රිම පරිසරයක්. සාමාන්‍ය ජන ජීවිතයක තිබෙන කලබලකාරීත්වය, ඝෝෂාකාරී බව, හදිස්සිය ඒ මොනවත් එතන නැහැ. එනිසා එක් පැත්තකින් ස්වභාවික පරිසරයක් තුළ තිබෙන කෘත්‍රිම ස්ථානයකට තමයි භාවනා මධ්‍යස්ථානයක් කියන්නේ. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා මොකටද අපට එහෙම තැනක්? එහෙම තැනක් අපට අවශ්‍ය වන්නේ ආරම්භක පියවර තියාගන්න. දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ භාවනාවේ පියවර 3 ක් ගැන කියනවනේ. පළවෙනි එක දැනගන්න ඕන කුමක්ද කරන්න ඕනෙ කියා. එතකොට දැනගැනීම තමයි අප ගුරුවරයෙකුගෙන් කර්මස්ථානචාර්ය්‍ය වහන්සේ කෙනෙකුගෙන් කළ්‍යාණ මිත්‍රයෙක්ගෙන් අප ඉගෙන ගන්නේ. හැබැයි ඒ දැනුමෙන් විතරක් භාවනා කරන්න බැහැ අපට. පුහුණුවක් ඕන. එතකොට භාවනා මධ්‍යස්ථානයක් ඇතුළේ මූලික වශයෙන් කෙරෙන්නේ ඒ දෙවෙනි පියවර, පුහුණුව කියන එක. ඒකට සතිපට්ඨාන සූත්‍රයේ කියනවා 'සික්ඛති' කියා. පලමුව දැනගන්නවා මොකද්ද කරන්න ඕන. ඊළඟට කොහොමද කළ යුත්තේ කියා පුහුණු වෙනවා. එසේ පුහුණු වෙන විට කාලසටහනක් තිබෙනවා. එයට අනුකූලව අප අවදි වෙන්නට ඕන. ඒ අනුව සමූහ භාවනාවට එකතු වෙන්නට ඕන. ඒ අනුව නියමිත වේලාවට ආහාර ගන්න ඕන. ඒ වගේම භාවනා මධ්‍යස්ථානයට අදාල යම් යම් ප්‍රතිපත්තිවලට අනුව අප එතන වැඩ කරන්නට ඕන.

        එතකොට ඒ සියල්ල තුළින් බලාපොරොත්තු වෙන්නේ අප අර සාමාන්‍ය ජීවිතයේ ඉන්න විදිහ නෙමෙයි ඊට වෙනස් ජීවිතයක් කොහොමද අලුතින් ඇතිකරගන්නේ කියන පුහුණුව. මෙය හරියට අප පිහිණීමට පිහිණුම් තටාකයකට ගොස් පුහුණු වෙනවා වගේ. එතකොට පිහිණුම් තටාකය කෘත්‍රිමයි. එහි ඇති වතුරත් කෘත්‍රිමයි. නමුත් එයින් වන්නේ පුහුණුවක්. එපමණයි. ඒ වගේ තමයි ආධ්‍යාත්මික කුසලතා, ආධ්‍යාත්මික ගුණාංග කොහොමද වර්ධනය කරගන්නේ කියන එක එතනදි පුහුණු වෙනවා. මේ වගේ කෘත්‍රිම චර්යාවකට, කාලසටහනකට කිසියම් කාලයක් ඉන්නවිට ඒ කාලසටහනම නෙවෙයි අපට හුරුවෙන්නේ ඒ ක්‍රමය හුරුවෙනවා. සිහියෙන් ඉඳීම, වර්තමානයේ ජීවත් වීම, අවධානයෙන් වැඩ කිරීම, අනිත් අය කෙරෙහි සැලකිලිමත් වීම, තමන් කැමති අකමැතිකම් පොඩ්ඩක් පැත්තකට කර මේ මොහොතේ කරන්නට ඇති දෙයෙහි වැදගත්කම කුමක් ද කියා අඳුනාගැනීම. ඒ වගේ දේවල් අපට පුහුණු විය හැකියි. එම පුහුණුව තමයි භාවනා මධ්‍යස්ථානයකින් කෙරෙන්නේ. නමුත් ඒ පුහුණුවෙන් පසු 3 වන පියවරට යායුතුයි. එයට සතිපට්ඨාන සූත්‍රයේ කියනවා 'විහරති' කියා. ගුරුවරයෙකුගෙන් මෙය දැනගෙන, කිසියම් භාවනා මධ්‍යස්ථානයක තිබෙන කාලසටහනකට, වැඩපිළිවෙලකට අනුව පුහුණු වී ඒ අනුව ජීවිත්වෙන්න ඕන. 'විහරති' යනු ජීවිත් වීම කියන එක. ඒ අනුව වාසය කරන්නට ඕන. ඒ කියන්නේ අපට තිබෙනවා යමක් මෙතනින් ගියාට පස්සේ. අර අපේ කලබලකාරී, කාර්ය බහුල ජීවිතය ඇතුළේ කරන්න දෙයක් තිබෙනවා දැන්. එය තමයි 3 වන පියවර සහ ඇත්තටම පුද්ගලයෙකුට අවබෝධයක් ලැබෙනවා නම් ඒ අවබෝධය ලැබෙන්නේ, පළවෙනි හා දෙවෙනි අවස්ථාවේ දී නෙවෙයි තුන්වෙනි අවස්ථාවේදී.

වර්තමානයේ ජීවත් වීම

          සාමාන්‍යයෙන් අප හැමෝම ජීවත් වෙන්නේ වර්තමානයේ තමයි. කාටවත් අතීතයේවත් අනාගතයේවත් ජීවත් වෙන්න බැහැ. හැබැයි ඒ බව අප දන්නේ නැහැ අපට ඉන්න පුළුවන් වර්තමානයේ විතරයි කියා. ඒ නිසා අප මේ අතීත මතක තුළයි අනාගත බලාපොරොත්තු ඇතුළෙයි අප මනෝ ලෝකයක් හදාගෙන ඉන්නවා. හැබැයි මනෝ ලෝකය හදාගන්නෙත් වර්තමානයේම තමයි. ඒ කියන්නේ අපට යමක් කරන්න තියෙන්නේ මේ මොහොතේ විතරයි. ගෙවුණු මොහොතකවත් ඉස්සරහට එන්න තියන මොහොතකවත් කිසිදෙයක් කාටවත් කරන්න බැහැ. නමුත් මේ මොහොත අප ගෙවා දානවා මේ මොහොත අප නාස්ති කරනවා අර ඉවර වුණු අතීතයේ මතක පිටු නැවත පෙරල පෙරල ඒ අතර ජීවත් වෙන්නත් අර ඇතිකරගන්න බලාපොරොත්තුවලින් හීන දැක දැක අනාගතයේ ජීවත් වෙන්නත්. ඉතින් මේ දෙකේම ඉන්න කෙනෙකුට මේ භාවනාව කරන්න බැහැ. භාවනාවක් කරන්නට නම් වර්තමානයට එන්නට ඕන. එතකොට මේ වර්තමානයේ ජීවත්වීම කියන්නේ භාවනාවේ අවසාන ප්‍රතිඵලය නෙවෙයි. භාවනා කරන්න නම් වර්තමානයේ ඉන්න ඕන. එතකොට භාවනාව සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් තමයි වර්තමානයේ ජීවත් වීම. ඉතින් ඒ නිසා මුලින්ම භාවනාවකදි මේ භාවනා ක්‍රමයට, ඒ භාවනා කමටහනට වැඩිය වැදගත් වෙන්නේ මේ අතීතයට හිත දුවනවා අනාගතයට හිත දුවනවා කියන එක අඳුන ගැනීම. මේ මොන කමටහන වැඩුවත් වැඩිපුරම සිද්ධ වෙන්නේ හිත දුවන එක. ඒ දුවන්නේ එක්කෝ අතීතයට නැතිනම් අනාගතයට. මේ දුවන හිත හඳුනාගැනීම තමයි මුලින්ම කරන්න වෙන්නේ.

          එතකොට මෙය එක්තරා විධියකට චිත්තානුපස්සනාව කියා කියන්නත් පුළුවන්. මොන භාවනා ක්‍රමය වැඩුවත් සමථ වේවා, විපස්සනා වේවා මේ චිත්තානුපස්සනාව  අනිවාර්යයෙන්ම ඒ ක්‍රමයත් එක්ක යායුතුයි. නැතිනම් භාවනාවක් කෙරෙන්නේ නැහැ. හිත කොහාටද දිව්වේ කියා දැනගත්තේ නැතිනම් ආපසු තමන් ඉන්න තැනට, මෙතෙන්ට හිත ගේන්න බැහැ. ඉතින් ඒ නිසා මේ වර්තමානයේ ජීවත් වීම, දුවන හිත සහ හිතේ කතාව කියන එක හිතේ ඝෝෂාව මේවා ඔක්කොම එකට යන දේවල්. හිතට මොනවා හරි මතක් වුණාම හිත ඒ ගැන කතා කරන්න පටන්ගන්නවා. හිතනවා කියන්නේ ඒක. එතකොට අප ඉන්නේ ඒ කතාවත් එක්ක දොඩමළු වෙමින්, වාද කරමින්, සංවාද කරමින් හැම වෙලේම. කෑම කන විට, උයන විට, නාන විට, වාහනයක් පදවන විට, නිදාගෙන සිටින විට පවා හිතත් එක්ක කතාවක තමයි අප ඉන්නේ. එහෙම නැතිනම් හිතේ කතාවකට එකතුවෙලා ඉන්නේ. ඒ නිසා ඇත්තටම මානසික වශයෙන් අප අවිවේකයි. කායික වශයෙන් නිවාඩු ලැබුණත් මානසික වශයෙන් අවිවේකයි. හිතට වෙහෙසයි. ඒ විතරක් නෙවෙයි මේ මානසික කතාන්දරයක් ඇතුළේ ඉන්න කෙනෙකුට ඇත්තටම වර්තමානයේ වෙන්නේ මොකද්ද කියන එක දැනගන්නත් බැහැ. ඒ නිසා මූලික වශයෙන් භාවනාවෙදි මේ හිතේ කතාව අඳුනාගන්න ඕන. අඳුනාගෙන අතහරින්නට ඕන. එතකොට ඒ මොන කමටහන ද කියන එක වැදගත් නැහැ. ඕනම කමටහනකට පොදු මූල ධර්මයක්, උපදේශයක් තමයි හිතේ කතාව අඳුනාගැනීම. හිත කතාවක් පටන්ගන්නා විට අඳුනාගන්න. ඒක එතනම අතහැරලා දාන්න. දිගට ගෙනියන්න එපා. හිත දුවන විට අඳුනාගන්න කොහාට ද දිව්වේ කියා. අතහැරලා දාන්න. අත හැරියාම ආපහු තමන් ළඟට හිත ස්වභාවිකම එන්න පුළුවන්. ආවේ නැතිනම් අරගෙන එන්න. මෙය ටිකක් දුෂ්කර කාර්යයක්.

            භාවනාව කියන එක බොහොම ලස්සන අත්දැකීම් දෙන බොහොම රසවත් අත්දැකීම් දෙන ආධ්‍යාත්මික ව්‍යායාමයක් බව ඇත්ත, නමුත් ඒ අත්දැකීම් ගන්න නම් මේ දුවන හිතත් එක්ක මේ ඝෝෂාකාරී, කලබලකාරී, දොඩමළු හිතත් එක්ක අප ටිකක් වැඩ කරන්න ඕන. ඒ කාලය ටිකක් අමාරුයි. ඒ නිසා තමයි බොහෝ විට මුල් දවස් දෙක තුන ඇත්තටම භාවනාවෙදි කෙනෙකුට අර භාවනාවෙන් ලැබෙන මානසික විවේකය, ඒකාග්‍ර හිත නෙවෙයි අත්දකින්නට ලැබෙන්නේ. මේ හිතත් එක්ක ලොකු වෙහෙසක් දැනෙන්නේ. හිත දුවනවා. ආපසු අරන් එනවා. නැවතත් හිත කතාවක් පටන් ගන්නවා අප එය නවත්වනවා. මුල් දවස් දෙකේ තුනේ නම් අර භාවනාවේ මිහිරි පැත්තක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ව්‍යායාමයේ දිගටම යෙදුණොත් සාමාන්‍යයෙන් වෙන විශේෂ ප්‍රශ්නයක් නොවුණා නම් තුන්වෙනි දවසෙන් පස්සේ ඇත්තටම හිත නිහඬ වෙන එක අත්දකින්න පුළුවන් කෙනෙකුට. හිත වර්තමානයේ නවතින එක අත්දිකින්න පුළුවන්. හිත හිස්වෙන එක අත්දකින්න පුළුවන්. හැබැයි ඒ සියලු අත්දැකීම් ලැබෙන්න නම් මේ දුවන හිත හරහා, අතීතයේ අනාගතයේ ජීවත් වෙන හිත හරහා, ඝෝෂාකාරී හිත හරහා කෙනෙකුට උඩුගම් බලා පීනන්න වෙනවා. 

එදිනෙදා ජීවිතයේ දී භාවනාව

නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය ගිහි භාවනා මධ්‍යස්ථානයක් විදියට තමයි ප්‍රසිද්ධ. ස්වාමීන්වහන්සේලාත්, මෙහෙණීන්වහන්සේලාත් වැඩම කරනවා. ඒ වුණාට ප්‍රසිද්ධ ගිහි භාවනා මධ්‍යස්ථානයක් විදියට. වැඩි පිරිසක් එන්නේ ගිහි අය. ඒ එන අයත් බ්‍රහ්මචාරී ජීවිත ගත කරන අයට වැඩිය ඒ කියන්නේ අනගාරික, බ්‍රහ්මචාරී, තාපස ජීවිත ගත කරන අයට වඩා රැකියාවලට යන ඒ වගේම ඉගෙනගන්න, විවාහ ජීවිත ගතකරන, ඒ සමාජ වගකීම් දරණ එහෙම පිරිසක් තමයි වැඩිපුර එන්නේ. ඉතින් මෙය භාවනාව ක්‍රම දෙකකට කෙනෙකුට හඳුන්වලා දෙන්න පුළුවන්. එකක් තමයි මේ සියලුම වගකීම් යුතුකම් ඒ ඔක්කොම අතහැරලා දාලා සම්පූර්ණ කාලයම භාවනාවට ගතකරමින් සම්පූර්ණ ප්‍රතිඵල ඉක්මනට ගන්න පුළුවන් කියන ඒ ඍජු මාර්ගය. විශේෂයෙන් ඔය ස්වාමින්වහන්සේලාට, භික්ෂුණීන්වහන්සේලාට, ඊළඟට අනගාරික බ්‍රහ්මචාරී තාපස ජීවිත ගත කරන ගිහි අයට ඒ නිර්දේශිත මාර්ගයක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන ඉගෙනගන්න, රැකියා කරන, විවාහ ජීවිත ගතකරන, සමාජ වගකීම් යුතුකම් දරණ පිරිසකට ඒ ඇත්තන්ටත් පුළුවන් මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන සැනසිල්ල, අවබෝධය ලබාගන්න. නමුත් අර සියලුම වගකීම් ඔක්කොම පැත්තකට දාලා, විවාහ ජීවිතයෙන් අයින්වෙලා , පාසලෙන් අයින් වෙලා නොවෙයි. ඒවත් එක්කම කොහොමද තමන්ගේ ජීවිතය නිරවුල් කරගන්නේ, ක්‍රමවත් කරගන්නේ, අනවශ්‍ය වැඩ අත්හරින්නේ කොහොමද? වැඩ අඩුකරගන්නේ කොහොමද? දැන් මෙන්න මේ වගේ පුහුණුවක් භාවනාවෙන් ලැබෙනවා.

එතකොට භාවනාවෙන් මේ දෙවිදියටම පුහුණු කරන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ යෝගියාගේ ඉලක්කය මත. ඉතින් අර වැඩිපුර පිරිසක් ඉන්නේ සාමාන්‍ය ගිහි ජීවිත ගතකරන අය නිසා මේ භාවනාව කියන එක මධ්‍යස්ථානයක සතියක් හිටියත්, දෙකක් හිටියත්, මාසයක් හිටියත් එතනින් ගත්ත භාවනාමය මුලධර්ම ටික එනම් වර්තමානයේ ජීවත් වෙන්නේ කොහොමද? ජීවත් වී කරන වැඩ අවධානයෙන් කිරීම, හිතේ කතාව නවත්තලා සිදුවෙන දේට ඇහුම්කන් දීම, තමන්ගේ කැමති අකමැතිකම්වලට වහලෙක් නොවී මේ වෙලාවේ මේ මොහොතේ සිදුවන්නේ මොකද්ද මේ මොහොතේ කළ යුත්තේ මොකද්ද කියන කාරණය දැනගැනීම, ඊළඟට මේ මම කියන එකට මුල්තැන නොදී හේතු සහ අවශ්‍යතා කියන පැත්තට විවෘත වීම වගේ භාවනාමය සංකල්ප අපට එදානෙදා ජීවිතයේ දී පුහුණු කරන්න පුළුවන්. පුහුණු කළ යුතුයි. ඉතින් එහෙම පුහුණු කරන්නේ නැතිනම් මධ්‍යස්ථානයක කොපමණ කල් සිටියත් එතන දී ලැබෙන මානසික සුවය, නිශ්චලතාවය ආපසු සාමාන්‍ය ජීවිතයට ගියාම ටික ටික අඩුවෙලා ගිහිල්ලා මේ පුහුණුව  ජීවිතය ඇතුළේ දී කළේ නැතිනම් බිංදුවටම වැටෙනවා. ඉන්පසු නැවතත් අප සිතනවා භාවනා මධ්‍යස්ථානයට ඊළඟ වතාවෙත් යන්න ඕන කියා. ඉතින් ඒකෙ කිසි තේරුමක් නැහැ. භාවනා මධ්‍යස්ථානයකින් අපට ලැබෙන්නේ පුහුණුවක් විතරයි. එ පුහුණුවට අනුව ජීවත් වීම අත්‍යවශ්‍යයි. එහෙම නැතිනම් මේක මේ සෝද සෝද මඩේ දානවා වගේ වැඩක්.