ගොඩ්වින් සමරරත්න මහතා

ගොඩ්වින් සමරරත්න 1932 සැප්තැම්බර් 6 වැනි දින මහනුවර දී උපත ලද්දේය. මහනුවර ආසන්නයේ පිහිටි හන්තාන කඳුයායේ පිහිටි තේ වත්තක ප්‍රධාන ලිපිකරු වූයේ ඔහුගේ පියාය. මව උඩරට චාම් ගෘහිනියක් වූවාය. ඔහුට සොහොයුරෝ තිදෙනෙක් සහ සොහොයුරියෝ සිවු දෙනෙක් සිටියහ. ඔහුගේ නැඟනියක් ළමා කාලයේදීම මිය ගිය අතර සහෝදරයෙක් තමාගේ විවාහය දා රිය අනතුරකින් මිය ගියේය. දැනට ජීවතුන් අතර සිටින සොහොයුරියෝ තිදෙනා ඩොරති, මැටිල්ඩා සහ ලක්ෂ්මී නමින් හඳුන්වනු ලබති.  ජීවතුන් අතර සිටි සොහොයුරන් දෙදෙනා වූයේ ගොඩ්වින් හා ෆීලික්ස්ය. ඒ පවුල වාසය කළේ මහනුවර නගරයේ සිට පයින් යා හැකිතරම් දුරක පේරාදෙණිය පාරේ පිහිටි සාමාන්‍ය විදියේ නිවසකය. ළමා වියේ පටන් ම ගොඩ්වින් බුහු දහම පිළිබඳ උනන්දුවක් දැක් වූ බව සියල්ලෝම පිළිගනිති. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ ශ්‍රද්ධා සම්පන්න මවගේ ආදරයයි. සෑම පොහොය දිනකම මව සමග පන්සල් යන ඔහුට එහි වාඩි වී බණ ඇසීම අනිත් ළමයින් සමග සෙල්ලම් කිරීමට වඩා රුචි විය. දිනක් ඔහු ගෙදර ආවේ කාගේදෝ කොටුවකින් හොරෙන් කඩා ගත් බටු ගෙඩි දෙකක් අතැතිවය. ඔහුත් කැටිව එළවළු අයිතිකරුගේ නිවසට ගිය ඔහුගේ මව එය ආපසු දෙන්නට ඔහුට බල කර සිටියාය.

උසස් පාසලේ දී ගොඩ්වින්ගේ කුළුපග මිතුරා වූ සිරි ගුණවර්ධන පසුව සීවලී නමින් පැවිදි වී ගෞරවයට පාත්‍ර වූ භාවනා ගුරුවරයෙක් වශයෙන් ප්‍රසිද්ධ විය. පාසැල් සිසුවෙකුව සිටිය දී ද කිහිප වතාවක් ම කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට යාමට පුරුදු වූ ගොඩ්වින් පසුව මව ද කැටුව එහි ගියේය. ඉගෙනීමට දක්ෂ වුවද සාමාන්‍ය මට්ටමේ ශිෂ්‍යෙයක් වූ ගොඩ්වින් අධ්‍යාපනය හමාරකොට 1956 දී කෑගල්ලේ මහජන පුස්තකාලයේ රැකියාවක් ලබා ගත්තේය. ඒ අවදියේ වුවද ඔහුගේ තැන්පත් කාරුණික ගතිගුණ ඉස්මතුව පෙනිණ. එක් දිනක් පුස්තකාලයේ රාත්‍රී මුරකරු නිදාගන්නට අන් තැනක් නැති නිසා පුස්තකාලය ඇතුළේ නිදා ගන්නට ඔහුගෙන් අවසර ඉල්ලීය. ඔහු ගැන අනුකම්පා කළ ගොඩ්වින් එයට ඉඩ දුන්නේය. පසුවදා වැඩට එන විට මුරකරු අතුරැදහන් ව තිබුණේ පුස්තකාල පොත් රැසක් සමග ය. නැති වූ පොත් තමාගේ වැටුපෙන් මිලට ගෙන බාර දිමට ගොඩ්වින්ට සිදු විය. පසුව ඔහු මහනුවර ඩී. එස්. සේනානායක පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපති ධූරයට පත් විය. ඔහු නියමිත කාලයට පෙර විශ්‍රාම ගියේ එහි සේවය කරමින් සිටියදී ය. ඒ 1979 දීය.

උසින් අඩි 5 කුත් අඟල් 10 ක් පමණ වූ ගොඩ්වින් සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරකින් හෙබි පුද්ගලයෙක් විය. ඔහුට තිබුණේ කළු පැහැ ඍජු කෙස් කළඹකි. වයසට යත්ම හිස කෙස් පැසී රිදී පැහැගැන්වී තිබුණේය. මඳක් ඉදිරියට නැමුණු උරහිස් සහිත ඔහුගේ කුදය වයසට යන විට තවත් පෙනෙන්නට විය. හිස කෙස් පැතලි කරන්නට වාගේ හිස පිරිමැදීම ඔහුගේ පුරුද්ද විය. තවත් පුරුදුදක් වූයේ වමතින් දකුණු වැලමිට අල්ලාගෙන දකුණතින් කම්මුල අතගෑමය. සමහර විට පැය ගණනනක් මේ ඉරියව්වෙන් සිටිමට ද ඔහු පුරුදුව සිටියේ ය. තවත් විටක තමාම වැළඳ ගන්නාක් මෙන් දෑත් ඉදිරියෙන් එකට බැඳ ගෙන සිටිම ද ඔහුගේ ලක්ෂණයක් විය. බොහෝ විට පුද්ගලයන් සමග කතා කරන විටත්, ඔවුන්ට සවන් දෙන විටත් හිඳගෙන සිටින විටත් දෙනෙත් පියා ගැනීම ද ඔහුට පුරුදු වුවකි. ඒ සියල්ලටම වඩා ගොඩ්වින්ගේ කැපි පෙනෙන ලක්ෂණය වූයේ ඔහුගේ මන බඳන මඳ සිනාවය. බොහෝ විට එය විකට සිනාවකට හෝ හඬ නගා සිනාසිමකට ද හැරෙනු ඇත. පිරිසිදුවට ප්‍රිය මනාප විදියට සිටිනවා හැරෙන්නට තමාගේ පෙනුම ගැන සිතීමට ගොඩ්වින් පුරුදුව සිටියේ නැත. ගෙදරදී හා භාවනා මධ්‍යස්ථානයේ දී පමණක් නොව පිටරට ගමන් යන විට පවා චාම් ඇඳුමෙන් සැරසී සිටීම ඔහුගේ පුරුද්ද විය. බොහෝ විට ඒවා මැද ගන්නට පවා ඔහු කල්පනා කරන්නේ නැත.

1996 දී මා හොංකොං නැවතී සිටින අතර විදේශ සංචාරයකින් පසු පෙරලා ශ්‍රී ලංකාවට ආපසු එන්නට කලින් එහි නවතින්නැයි ඔහුට ආරාධනා කළෙමි. ඒ යටත් විජිතයේ මගේ මිතුරන්ට ඔහු ගැන කියා තිබුණු හෙයිනි. ඔවුහු ඔහුගේ දේශනා අසන්නට උනන්දුවක් දැක්වූහ. ඔවුනතුරන් පහළොස් දෙනෙක් පමණ ගොඩ්වින් පිළිගනු වස් මා සමග ගුවන් තොටුපළට ගියහ. ඔහු මඟීන් පැමිණෙන ස්ථානයෙන් මතු වූයේ අපිළිවෙල ඇඳුමින් සැරසී පරණ සෙරෙප්පු කුට්ටමක් පය ලාගෙන කබල් බෑගයක් ද ඔසවාගෙන ය. ඒ ඔහුට පුරුදු පිළිවෙල ය. මගේ මිතුරන් මවිත වී බලන සැටි මම දුටුවෙමි. 'ඒ අර මනුස්සයාදැයි' එක් පුද්ගලයෙක් මගේ කණට කොඳුළේය. ඔහුගේ මුහුණට නැඟුණේ සැක සහිත බැල්මකි. ඔවුන් තුළ ඔහු ගැන පැහැදීමක් ඇති නොවූ බව පැහැදිලි ය. එහෙත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඔවුහු ඔහු කෙරේ ළෙන්ගතු බවක් පාමින් පැහැදීමක් ඇතිකර ගන්නට සමත් වූහ. මිනිසුන්ගේ සිත් දිනාගනු වස් විච්චූරණ මහා පරිමාණ නිල නම් හෝ මහජන සම්බන්ධතා උපක්‍රම ගොඩ්වින්ට අවශ්‍ය නොවී ය. ඔහු සතු වූ අතිශය අගනා ගතිගුණ හඳුනා ගන්නට කෙනෙකු ගත කළ යුතු වූයේ සුළු වේලාවක් පමණි.

ගොඩ්වින්ගේ ආධ්‍යාත්මික වර්ධනය කෙරෙහි ආභාසයක් ඇති කළ තිදෙනෙක් වූහ. අති පූජ්‍ය ඤාණපෝණික ස්ථවිරයන් වහන්සේ, සුප්‍රකට බෞද්ධ විද්වතකු හා දාර්ශනිකයකු වූ කේ. එන් ජයතිලක සහ ජේ. ක්‍රිෂ්ණමූර්ති යන තිදෙනාය. ළමා වියේ පටන්ම භාවනාව පිළිබඳ උනන්දුවක් දැක්වුවද, තමාට වටහා ගත හැකි අන්දමින් එය පැහැදිලි කර දිමට සමත් කෙනෙකු සොයා ගැනිම ගොඩ්වින්ට ප්‍රශ්නයක් විය. 1960 ගණන්වලදී අලුතින් පටන් ගන්නා ලද මහනුවර බෞද්ධ ප්‍රකාශන සංගමයට ගොස් පූජ්‍ය ඤාණපෝණික හිමියන්ට සහ එවක සිටි ප්‍රධාන ලේකම් රිචඩ් අභයසේකර මහතාට ද සහාය වීමට පටන්ගත් ගොඩ්වින් කාර්යාලයේ ඒ වැඩ කරමින්, අමුත්තන් පිළිගනිමින් පසුව ඤාණපොණික හිමියන් සමග භාවනාව සහ මනෝ විද්‍යාව ගැන සාකච්ඡා කිරීමට ද පුරුදු විය. අනුක්‍රමයෙන් ඤාණපෝණික හිමියන් කෙරෙහි ඉමහත් ගෞරවයක් දක්වන්නට වූ ඔහු හැම විට ම උන්වහන්සේගේ 'භාවනාවේ හදවත' (The Heart of Buddhist Meditation) සහ 'සමාධියේ මහිමය' (The Power of Mindfulness) යන පොත් නිර්දේශ කිරීමට ද පුරුදු විය.

 ඔහු මාහාචාර්ය ජයතිලක මුණ ගැසී මා සමග මිත්‍ර වූයේ ද මේ අවදියේම වාගේ ය. 'දැනීම පිළිබඳ ආදි බෞද්ධ න්‍යාය' (The Early Buddhist Theory of Knowledge) පොත සම්පාදනය කරන ලද්දේ මහාචාර්ය ජයතිලක විසින් ය. නිතර ඔහුගේ නිවසට යාමට පුරුදුව සිටි ගොඩ්වින් ඔහු සමග බෞද්ධ දර්ශනය සහ විශේෂයෙන් අපරදිග දර්ශනයට එහි ඇති සබඳතා ගැන සාකච්ඡා කිරීම ද සිරිතක් කොට ගත්තේ ය. පාර මනෝ විද්‍යාව පිළිබඳ මුල දී ගොඩ්වින් තුළ උනන්දුවක් ජනිත කරවන ලද්දේ මහාචාර්ය ජයතිලක විසින් බව වරක් ඔහු මා සමග පැවසුවේ ''මම මහාචාර්ය ජයතිලකගෙන් සිතන්නට ඉගෙන ගත්තා'' යනුවෙනි.  ''ඤාණපෝණික හිමියන් මට සූත්‍ර දේශනා කියවන්නට උනන්දුවක් ඇති කළා. ක්‍රිෂ්ණමූර්තිගේ ලිපි ලේඛන, ඒ සියල්ල ගැනම තේරුම් ගන්නට මට උදව් වුණා.'' 

ගොඩ්වින්ගේ සිත වඩාත් ඇදී ගියේ ක්‍රිෂ්ණමුර්තිගේ සම්මත විරෝධී වූත් ව්‍යුහගත නොවූත් ආධ්‍යාත්මික ප්‍රවේශයටයි. විටක ඔහු එය හැඳින්වූයේ ''බුද්ධාගම රහිත ධර්මය'' යනුවෙනි. විශේෂයෙන්ම ඔහුගේ සිත් ගත්තේ ක්‍රිෂ්ණමූර්තිගේ විකල්ප විරහිත දැනුවත් වීම, ආත්ම ප්‍රතිරුපයක් නැති බව සහ අපේක්ෂා විරහිත බව ය. ක්‍රිෂ්ණමූර්ති කෙරෙහි දක්වන ලද ප්‍රසාදය එබඳු වුවත් ඔහු 1980 දී ශ්‍රී ලංකාවට පැමිණි කල්හි ඔහුගේ දේශනාවලට සවන් දීමට ගොඩ්වින් කොළඹ ගියේ නැත. නොයන්නේ ඇයි දැයි මා විමසූ විට ඔහු පිළිතුරු වශයෙන් කියා සිටියේ තමා ක්‍රිෂ්ණමූර්තිගේ ඉගැන්වීම් ගැන දන්නා හෙයින් යාම අනවශ්‍ය බවය. ඔහු දැකීමෙන් ලද හැකි අමතර දෙයක් නැති බවය. තම ශ්‍රාවක පිරිසට දොස් පවරමින් විටක තමා කියන දේ වැටහුණා නම් නැවත නැවතත් ඔවුන් තමා වෙත නොඑන බව කියන්නට ක්‍රිෂ්ණමූර්ති පුරුදුව සිටියේ ය. ගොඩ්වින් ඔහුගේ දැනුම වටහා ගත්තවුන් අතරින් කෙනෙකු බව කීම නිවැරදි යයි සිතමි.

තරුණ කාලය කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට ගිය කිහිප විටක හැරෙන්නට, විධිමත් ආකාරයට එරමිණිය ගොතා ගෙන වාඩි වී විශේෂ විධි ක්‍රමයක් අනුව භාවනා කිරීම සැබැවින්ම ගොඩ්වින්ගේ සිරිතක් නොවී ය. ඔහු ගතානුගතික පිළිවෙළට භාවනා කරන්නෙක් නොවී ය. සැබැවින්ම ඔහු අනායාසයෙන් භාවනාවට හැඩ ගැසුණෙක් විය. ඤාණපෝණික හිමියන්ගෙන් සහ ක්‍රිෂ්ණමූර්තිගෙන් උගත් දෙයින් හා කියවූ සූත්‍ර දේශනා විසින් දිරිගන්වනු ලැබූ ගොඩ්වින් තුළ ස්වාභාවික සිහි කල්පනාවක් හා තැන්පත් බවක් ජනිත කරන විදියේ දැනුවත්කමක් නිරුත්සාහයෙන්ම හට ගත්තේ ය. එසේම ඔහු අසල සිටින විට පුද්ගලයන්ට හැඟී ගිය ප්‍රබල හෘදයාංගමතාව සහ කරුණාව ද චිරාගත මෛත්‍රී භාවනාව ඔස්සේ ඇති කර ගන්නා ලද ගුණාංගයක් නොවේ. ඒවා ඔහු තුළ පිහිටි කිසියම් සහජ ලක්ෂණයකින් උද්ගත වූවාක් බඳු විය.

මම වරක් ගොඩ්වින් ඒ විදියට හැඩ ගැසුනේ කෙසේදැයි ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ''මම ඇත්තටම දන්නේ නැහැ ස්වාමින්වහන්ස, ඒක ඉබේම සිද්ද වෙච්ච දෙයක්. මගේ කලින් ජීවිතයේ දී මා වැඩියෙන් භාවනා කරන්නට ඇති.'' යනුවෙනි ඔහු පිළිතුරු දුන්නේ. එසේ කියා ඔහු සිය සුපුරුදු විකට සිනහව පිට කළේය. වෙනත් අවස්ථාවක මා ඔහුගෙන් ඇසුවේ ඔහු කිසිවිටෙක ගැහැණුන් පිළිබඳ උනන්දුවක් දැක්වුවාද කියා ය. තමාට වරක් පෙම්වතියක සිටි බව ඔහු මා සමග කීවේය. ''ඉතින් මොකද වුණේ?'' යයි මම ප්‍රශ්න කළෙමි. ඔහුගේ පිළිතුර මෙසේ විය. ''ඒ මට වයස විසි ගණනක්ව තිබිය දී. ඒ දවස්වල තරුණ තරුණියන්ට රහසේ මුණ ගැසෙන්නට ඉඩ තිබුණා. අපි කිසියම් තැනක දී මුණ ගැහෙන්න කතා වෙනවා. සමහර දාට ඇය එන්නේ නැහැ. ඇය නොආ දවසට හරි පමා වු දාට හරි මට කොයි තරම් වේදනාවක් දැනෙනවා ද කියා මට වැටහුණා. ඒ නිසා මා ඇය මුණ ගැහෙන්න යාම නැවැත්තුවා. ඇයත් ඒම අතහැරලා දැම්මා.''

1977 දී මා පළමු වරට ගොඩ්වින් මුණ ගැසෙන විටත් ඔහු සිටියේ පේරාදෙණිය පාරේ නිවසේ සිය මවත්, සොයුරිය හා ඇගේ පවුලේ අයත් සමගය. ඔහු තමාගේ බෑනා වූ පාලිත සමග එකම කාමරයේ ලැගුම් ගත්තේය. කාමරය අඩු වැඩියෙන් පිරී තිබිණ. හැම දෙයක්ම වසාගෙන මහ පාරෙන් මතුවන දූවිල්ලය. බිත්ති දෙකක්ම වසා ගෙන සීලිම තෙක් උස පොත් රාක්කය. ඒවා පිරී තිබුණේ පොත් පත්, සඟරා ලිපිවල ඡායා පිටපත් සහ වයිවාරන සඟරා ආදියෙනි. කාමරයේ පෙනුම ගොඩ්වින්ගේ මනසේ ස්වභාවය පෙන්නුම් නොකළ ද, ඔහු කියවන පොත්වල අන්තර්ගතය එය පිළිබිඹු කිරීමට සමත් විය. පුළුල් පරාසයකට අයත් ඒ විෂයමාලාවෙහි කැපී පෙනෙන මාතෘකා වූයේ මනෝ විද්‍යාව, පාර මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව හා බෞද්ධාගමය. සිරිත් පරිදි ගොඩ්වින්ගේ ඇඳ වැසී ගියේ පොත්, පුවත් පත් සහ සඟරාවලින්ය. තමා හමුවන්නට එන කවරකුට වුවද ඇඳේ කොනක වාඩි වි කතා කරන්නටය ඔහු ඇරයුම් කළේ. එසේ කතා කරන අතර ඔහු විටක ඒ පොත් ගොඩ අවුස්සා හෝ පොත් රාක්කයෙන් පොතක් රැගෙන හෝ එයින් ඡේදයක් ආගන්තුකයාට පෙන්වන්නේය. නැතහොත් රැගෙන ගොස් කියවීමට දෙන්නේය. ඔහුගෙන් ඉල්ලාගත් පොත් කියවා ආපසු දීමට මා අමතක නොකළ ද ඔහු මගෙන් පොතක් ආපසු දුන්නාදැයි කිසිවිට ඇසූ බවක් මතක නැත.

ගොඩ්වින්ගේ ඒ අවුල් සහගත සුවිසල් පුස්තකාලය එක් රැස් කර ගන්නා ලද්දේ වසර ගණනාවක් තිස්සේ හඳුනාගත් විදෙස් මිතුරන්ගේ මාර්ගයෙනි. වර්ජිනියා සරසවියේ සුප්‍රකට පාර මනෝ විද්‍යාඥයකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ද ඒ අතර විය. ඔහු 1968 දි මුල්වරට ශ්‍රී ලංකාවට ආවේ අතීත ජන්ම සිහිපත් කිරීමට සමත් දරුවන් පිළිබඳ අධ්‍යයනයකටය. මෙහි සිටිය දී ඔහුට සහාය වූයේ ගොඩ්වින්ගේ මිතුරන් දෙදෙනෙකු වූ ෆරැන්සිස් ස්ටෝරි සහ වී. එෆ් ගුණරත්නය. 1970 දී නැවත වරක් පැමිණි විට ෆරැන්සිස් ස්ටෝරි විසින් ඔහු ගොඩ්වින්ට හඳුන්වා දෙනු ලැබීය. ඉන් පසු ගොඩ්වින් මහාචාර්යවරයාගේ භාෂා පරිවර්තකයා බවටත් මිතුරා සහ නැතුවම බැරි පර්යේෂණ සහකාරයා බවටත් පත්විය. අතීත ජන්ම ස්මරණ සහිත දරුවන් ගැන අසන්නට ලැබුණු විගසින් තොරතුරු රැස් කළ ගොඩ්වින් ඒ පිළිබඳ සවිස්තර වාරතා ස්ටීවන්සන්ට යැව්වේය.

1977 තමාගේ පර්යේෂණ කටයුතුවලට සහාය වනු වස් ගොඩ්වින්ට වර්ජිනියාවට එන්නැයි මහාචාර්යවරයා ඇරයුම් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සමාජ විද්‍යාඥයෝ හා මනෝ විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් ගොඩ්වින් හඳුනාගත්තෝය. ඔහුගේ පරිවර්තන හැකියාවන්ගෙන්, බුදුදහම පිළිබඳ අවබෝධයෙන් හා ශ්‍රී ලාංකික සිරිත් විරිත්, සංස්කෘතිය පිළිබඳ පුළුල් දැනුමෙන් ද  ප්‍රයෝජන නොගත් අය සිටියේ ස්වල්ප දෙනෙකි. ගොඩ්වින් හැම විටම ඔවුන්ට උදව් කිරීමට සැදී පැහැදී සිටියේය.

1970 ගණන්වල මුල් අවදියේ සතියක් පාසාම ඔහුට එක්සත් ජනපදයෙන්, එක්සත් රාජධානියෙන් නැතහොත් ජර්මනියෙන් පාර්සලයක් නොවරදවාම ලැබුණේය. ඒවාට ඇතුලත් වූයේ ඔහුගේ නම සහිත ඔහුට පිරිනමන ලද හෝ ඔහුගේ සම්මාදම අගය කරන්නන් විසින් එවන ලද පොතක් හෝ නිබන්ධනයකි. ඉයන් ස්ටීවන්සන් විසින් ගොඩ්වින්ට එවන ලද ඔහුගේ ''තමන්ගේ අතීත ජන්ම මතක ඇති දරුවෙක්'' නම් ග්‍රන්ථයේ ලියා ඇති සටහන මෙසේය. 'මේ පොතට ඔබගෙන් ලැබුණු සම්මාදම වෙනුවෙන් බෙහෙවින් ස්තූතියි - ගොඩ්වින්ට' යනුවෙනි. 1988 ජනවාරි 15 වැනි දා ඉයන් ස්ටීවන්සන්ගෙන් යයි අගට ලියා ඇත. ඔහුට ලැබුණු ජේ. එස්. ක්‍රැගර්ගේ 'අධි දේව වාදය ආදි බුදුදහම හා ගතානුගතික ක්‍රිස්තියානි දේව වාදය' යන පොතේ එන සටහන වූයේ 'මගේ ගුරුවරයා හා මිතුරා වන ගොඩ්වින්ට සෙනෙහසින් හා කෘතවේදීව' යන්නය. ගොඩ්වින්ගේ පුස්තකාලයේ තිබූ පොත් දුසිම් ගණනක් විය.

කියවීමට, විද්වතුන් සමග සාකච්ඡා කිරීමට සහ ඔවුන්ට සවන් දීමට රුචියක් දැක්වූ මුත්, ගොඩ්වින් කිසිසේත් පොත් කාවෙක් හෝ විද්වතෙක් වූයේ නැත. විද්වත් පුහුණුවක් නොලත් ඔහු එබඳු දේ ගැන උනන්දුවක් පළ කළේ ඒවා මානුෂික ස්වභාවය පිළිබඳ පැහැදිලි කරනවා නම් පමණි. තමා හවුල් වූ සාකච්ඡාවක් නොහොත් කියවන පොතක් න්‍යායාත්මක හෝ කල්පිත මුහුණුවරක් හෝ ගත් විගසින් ඔහුගේ උනන්දුව පිරිහී යන්නේය.

1977 දී පමණ ගොඩ්වින් මහනුවර මහ රෝහලේ මනෝ චිකිත්සක වාට්ටුවේ සේවය කළ වෛද්‍ය එල්. රුද්‍රිගෝ හඳුනාගත්තේය. භාවනාව චිකිත්සක අංශයට උපයෝගී කර ගැනිම පිළිබඳ උනන්දුවක් දැක් වූ වෛද්‍යවරයා තමාගේ රෝගින් කිහිප දෙනෙකු බලන්නට කැමැති දැයි ගොඩ්වින්ගෙන් විමසීය. ගොඩ්වින් සානුකම්පිතව සවන් දෙන්නෙකු හා දක්ෂ  උපදේශකයෙකු බව හැඟී ගියෙන් බොහෝ විට පුද්ගලයෝ තමන්ගේ ප්‍රශ්න ගැන ඔහු සමග කතා කිරීමට පුරුදු ව සිටියහ. වෛද්‍ය රුද්‍රිගෝගේ යෝජනාව නිසා ඔහුට විධිමත් පරිදි පුද්ගලයන් සමග කටයුතු කිරීමට අවසරයක් උදා විය. ගොඩ්වින් මේ කාර්යයෙන් අසීමිත ආස්වාදයක් ලැබුවේ එමඟින් තමාට සංකීර්ණ මිනිස් දුක් වේදනා පිළිබඳ විවිධ ආකාරවලින් අවබෝධයක් ලැබුණු නිසා පමණක් නොවේ. දුකට පත් උදවියට උපකාර කිරීමට වඩා ගොඩ්වින් කැමති අන් කිසිවක් නොතිබුණු හෙයින්ය.

ඔහු කරා පුද්ගලයන් එන්නට වැඩි කලක් ගත වූයේ නැත. බොහෝ අවස්ථාවල තමා අසලින් වාඩි වී ඔහු කරන සාකච්ඡාවට සවන් දිමට ඔහු මටත් ආරාධනා කළේය. ඔහු මේ කාර්යයයේ නිරතව සිටිනවා බලා සිටීම සිත් අදනා දර්ශනයක් පමණක් නොව හැඟීම් දනවන අත්දැකීමක් ද විය. පුද්ගලයින් තමන්ගේ ප්‍රශ්න තමා ඉදිරියේ අනාවරණය කරන විට ගොඩ්වින් වෙතින් උතුරා යන කරුණාව දෑසට පෙනෙන තරම් විය. ඔහු වැඩි කොටම සවන් දුන්නේ නෙත් පියා ගෙනය. කථිකයා කඳුළු හෙළන්නට පටන් ගත හොත් නෙත් හැර බලන ගොඩ්වින් එක්කෝ අතින් අල්ලාගන, නැත හොත් හෙමිහිට පිටට තට්ටු කරමින් සනසා ලන්නේය. ඔහු සමග ටික වේලාවක් ගත කිරීමෙන් පවා බොහෝ දෙනා සැහැල්ලුවක් ලැබීම පුදුමයක් නොවේ.

බුදුන් වහන්සේගේ දේශනා ගැන තමා කියවූ අදහස් අනුසාරයෙන් මානසික ගැටළු සහිත පුද්ගලයන්ට සහනයක් ලබා දීමේ මාර්ග සකස් කර ගැනීමට ඔහු සමත් විය. ඔහුගේ ප්‍රවේශය මෙබඳු සංකල්ප පදනම් කර ගත්තක් විය. තමාගේ ගැටළු ගැන විවෘතව හා නිදහසේ කතා කිරීමට හැකිවන අයුරින් පුද්ගලයන් සමග සමීපතාවයක් නොහොත් හිතවත් බවක් ඇතිකර ගැනීමෙන් තමන්ගේ ගැටළු විසඳිය හැකි බවට විශ්වාසයක් ඔවුන් තුළ ජනිත් කිරීම - ආකාපානසති භාවනාව ඔස්සේ ඔවුන්ගේ සිත සන්සුන් කිරීම - ගැටළුවේ ලක්ෂණ පිළිබඳව ක්‍රියා කිරීමේ මාර්ග ඔවුන්ට පෙන්වා දීම - ඔවුන් මෛත්‍රී භාවනාවට පුරුදු කිරීම යන මේවාය.

මෙසේ කරන ලද අවිධිමත් සහායට අමතරව ගොඩ්වින් විසින් මහනුවර ආසන්නයේ පුද්ගලයන්ට වඩාත් අල්ලා සිටින විදියේ උපකාර කරන වැඩ සටහන් ගණනාවක් දියත් කරනු ලැබීය. ඒ අතරින් පළමුවැන්න හා ඉතාමත් සාර්ථක වැඩ සටහන වූයේ පිළිකා නිවාස සඳහා ස්ථාපිත කරන ලද ආගන්තුකයන්ගේ වැඩ සටහනකි. සුව කළ නොහැකි රෝගීන් සඳහා ඔවුන්ගේ නිවාසවලට ආහාර සැපයීමටත් වැසිකිළි පහසුකම් සහ මුලික අවශ්‍යතා සලසා දිමටත් පුද්ගලයන් සංවිධානය කිරීම ගොඩ්වින්ගේ කාර්යය විය. මේ ව්‍යාපෘතියෙහි ලා ඔහුට පැවරුණු කාර්යභාරය වූයේ රෝගින්ට උපදේශන සේවා සැලසීම සහ විශේෂයෙන් භාවනාව මඟින් ඔවුන්ට වේදනාවත්, මරණ බියත් නැතිකර ගැනීමට කියා දීමටය.

සතිපතා යන මේ ගමන්වලදී වසර දෙකක් පමණ ඔහු සමග ගිය මට දක්නට ලැබුණේ හුදෙක් සානුකම්පිත සිනා මුහුණක් සහිතව ඔහු තමන් ඉදිරියේ පෙනී සිටීම පමණක් වුවත් රෝගීන් තුළ සැහැල්ලුවක් ඇති කිරීමට ප්‍රමාණවත් වූ ආකාරයයි. එක් ගමනකදී අපි මුඛයේ ලොකු ගෙඩියක් තිබුණු කාන්තාවක සමග කතා කිරීමට නැවතුණෙමු. ඇය කතා කරන විට ඇගේ මුවින් නිකුත් වූ දුර්ගන්ධය කෙතරම් බලවත් විද යත් ඉවතට හැරෙන්නට මට සිදුවිය. ගොඩ්වින් එසේ නොව, දුගඳ නොදැනෙන්නාක් මෙන් ඉඳගෙන ඇය සමග කතා කරන්නටත් ඇයට සවන් දීමටත් සමත් විය.

තවත් අවස්ථාවක දුප්පත් දෙමළ කාන්තාවක් කිරිපිටි ටින් එකක් මිලට ගන්නට මුදල් ටිකක් දෙන්නැයි අපෙන් ඇයැද සිටියාය. පසුම්බියෙන් මුදල් ටිකක් ගත් ගොඩ්වින් එය ඇයට දුන්නේය. වැඩ හමාරකර බස් නැවතුමට ආ ගොඩ්වින් මගෙන් ඇසුවේ ''ස්වාමින් වහන්ස, ඔබ ළඟ මුදල් කිසිවක් ඇද්ද?'' යනුවෙනි. ඒ දිවියේ කිසි විටක මුදල් පරිහරණය නොකළ මම ඒ බව කියා මුදල් කුමටදැයි ඔහුගෙන් විමසීමි. ''තිබිච්ච ඔක්කොම සල්ල අර අම්මාට දුන්නා'' යයි කී ඔහු සුපුරුදු විකට සිනාවක් පා සිනාසුණේය. එනිසා ටවුමටම පයින් යන්නටය අපට සිදු වූයේ. දයාවෙන් හද පිරී ගිය කල්හි තමා ගැන කිසිවක් නොසිතා දීම ගොඩ්වින්ගේ සිරිත විය. අදිමදි නොකර දෙන දේ දිය යුතු බව දහමෙන් කියවෙන බව මා නොදන්නවා නොවේ. එහෙත් තමා ගැන නොසිතාම නිතැතින්ම දීමට සමතකු හැටියට මා දැක ඇත්තේ ගොඩ්වින් පමණි.

1971 ශිෂ්‍ය කැරැල්ලකින් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආරාමය සරසවි බලධාරීන් විසින් වසා දමන ලදි. තරුණ භික්ෂූහු පිරිසක්ද කැරැල්ලට සම්බන්ධ වූහ. එසේ වුවද 1970 දශකයේ අග භාගයේ දී සරසවි භූමි භාගය ඇතුළත බෞද්ධ ස්ථානයක් පිහිටු වීමට තීරණය කරන ලදින් පරණ ඉංජිනේරු බංගලාව බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට ඉඩ සලසන ලදි.

පසුව අනාවරණය වූ අයුරු එවක ආගමික කටයුතු ගැන උනන්දුවක් දැක්වූයේ ඉතා සුළු ශිෂ්‍ය සංඛාවක් පමණි. මධ්‍යස්ථානය ප්‍රයෝජනයට ගැනුණේ නැති තරම් විය. එසේ වුවද කථිකාචාර්යවරු කිහිප දෙනෙක්, විශේෂයෙන් මහාචාර්ය ලිලී ද සිල්වා සහ මහාචාර්ය ඩබ්ලිව්. සි විතානච්චි සතියකට වරක් එහි රැස්විමට පටන් ගත්හ. ඔවුන්ගේ මූලික අදහස වූයේ සූත්‍ර දේශනා ගැන සාකච්ඡා කිරීමය. අනුක්‍රමයෙන් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු සහභාගිවන්නට පටන්ගත් අතර 1977 වන විට නිත්‍ය කණ්ඩායමක් සකස් වී තිබුණේ. එම පිරිසට ගොඩ්වින්, ද සිල්වා මහත්මිය, විතානච්චි, රත්නාකර, පැට් ජයතිලක සහ මහාචාර්ය පරාක්‍රම පුනාන්දුත් අයත් වූහ. මට මුලින්ම ගොඩ්වින් මුණ ගැසුණේ එහිදීය.

කණ්ඩායම සතියට දෙචතාවක් රැස්වුණි. බ්‍රහස්පතින්දාට අපි සූත්‍ර දේශනා කියවා සාකච්ඡා කළෙමු. පාලි විද්වතියක් වූ මහාචාර්ය ද සිල්වා මහත්මිය පාරිභාෂික ශබ්ද පැහැදිලි කර දුන්නාය. ඒවයේ ගැබ් වුණු දාර්ශනික අදහසක් වූයේ නම් එය පෙන්වා දීම බාර වූයේ පරාක්‍රමටය. ප්‍රායෝගික භාවනාවට අදාළ කරුණු පෙන්වා දුන්නේ ගොඩ්වින්ය. විටක උණුසුම් අතට හැරෙන සාකච්ඡා තවත් විටක මාතෘකාවෙන් පිටතටද ඇදී යනු ඇත. මෙය සිදු වූ විට දෑත් බැඳගෙන නෙත් පියා ගන්නා ගොඩ්වින් නිහඬ වන හැටි මම දුටුවෙමි. සිකුරාදා රාත්‍රියට රැස්වන අපි පැයක් තුළ නිශ්චල භාවනාවේ නිරත ව සිට තේ හෝ කෝපි පානය කරමින් සාකච්ඡාවේ යෙදෙන්නෙමු. මෙහිදීද ගොඩ්වින් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු හැම විටම මාතෘකාවට අදාළ වූ අතර පුදුම සහගත ගැඹුරකින් ද යුතු විය.

යථා කාලයේ මිතුරන් බවට පත් වූ අපි එම කුඩා කණ්ඩායම වේළුවන නමින් හඳුන්වන්නට තීරණය කළෙමු. ඒ බුදුන් වහන්සේ කලක් වැඩ විසූ දඹදිව ස්ථානය අනුවය. එහි ලැගුම් ගැනිමට ආරාධනා කරනු ලැබූ මම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ නිල නොලත් සංවිධායකයා බවට පත් වූයෙමි. විශ්ව විද්‍යාලයට පැමිණෙන නොයෙකුත් විද්වතුන්ට අපේ කණ්ඩායම අමතා දේශන පැවැත්විමට හෝ අපේ සාකච්ඡාවලට සහභාගි වන ලෙස ඇරයුම් කරනු ලැබීය. ඔවුනතුරින් විශිෂ්ට ස්ථානයක් ගත් සමහරුන් අතර සුප්‍රකට 'දෙවියන්ට අවංක පුජකවරයා' වු රොබින්සන් බිෂොප් තුමා, කේම්බ්‍රිජ් සරසවියේ සංස්කෘත විශේෂඥයා වූ රිචර්ඩ් ගොම්බ්‍රිජ්, වල්පොල රාහුල සහ හවායි සරසවියේ මහාචාර්ය ඩේවිඩ් කඵපහන ද වූහ.

1979 මුල දී මහනුවර ධනවත් ව්‍යාපාරිකයෙක් වූ අලහකෝන් මහතා සහ ඔහුගේ බිරිය ද අපගේ සිකුරාදා රාත්‍රී භාවනා වැඩ සටහනට නිති පතා සහභාගිවන්නට පටන් ගත්හ. බංගලාව සරසවි කාර්ය මණ්ඩල සමාජ ශාලාව වශයෙන් යොදා ගනු වස් අපට එතැනින් ඉවත් වීමට දැනුම් දුන් විට තමගේ තේ වත්තෙන් ඉඩමක් පරිත්‍යාග කොට භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ගොඩනැගිලි කිහිපයක් තනා දීමට අලහකෝන් මහතා ඉදිරිපත් විය. 1979 දි මහනුවර පුස්තකාලයාධිපති ධූරයෙන් අස් වූ ගොඩිවින් එහි භාරකරු බවට පත් වූ අතර පසුව එහි නේවාසික ගුරුවරයා ද වූයේය.

නිල්ලඹ ආරම්භක භාවනා පාඨමාලාව පවත්වන ලද්දේ ජනප්‍රිය ඇමරිකානු භාවනා ගුරුවරයෙක් වූ ජෝසප් ගොල්ඩ්ස්ටයින් විසින්ය. දේශීය හා විදේශීය හැත්තෑවක පමණ පිරිසක් සහභාගි කරවා ගන්නට සමත් වූ ඒ වැඩ සටහන සාර්ථක වූවක් ලෙසින් සලකනු ලැබීය. එහෙත් පාඨමාලාවෙන් පසු ජෝසප් ගෝල්ඩ්ස්ටයින් ඇතුළු සියලු දෙනාම පිටත්ව ගිය පසු අපට හිටි හැටියේ පෙනී ගියේ භාවනා ගුරුවරයෙකු රහිත භාවනා මධ්‍යස්ථානයක් අපට ඇති බවය.

අවසාන මුල් දින දහය තුළ පාඨමාලාව මෙහෙය වීමට මම එකඟ කරගනු ලැබීමි. ඒ අතර මධ්‍යස්ථානයේ පාලනය ගොඩ්වින්ට බාර විය. එහෙත් වසරක් ඇතුළත ඔහු ගුරුවරයා වශයෙන් ක්‍රියාකරන්නට පටන් ගත්තේය. මා මෙන්ම ඔහු ද මුල දී භාවනා පාඨමාලාවක් සකස්කොට පවත්වන්නේ කෙසේදැයි දැන සිටියේ නැත. පුරැදු පරිදි භාවනා සැසිවලදී ද ඔහු සිටියේ වමතින් දකුණු වැලමිට පටලවාගෙන දකුණු අත කම්මුලට තබාගෙන බිත්තියට හේත්තු වී ගුලි ගැහිලාය. මම ඔහුට තරවටු කළෙමි. ''ඔබ කෙළින් සිටගෙන සිටිය යුතුයි. නැතිනම් භාවනා යෝගීන් එසේ කරනවා කියා බලාපොරොත්තු වන්නට බැරිය.'' එසේ වුවද චාරිත්‍රානුකූල ගුරුවරයෙකුගේ පෙනුම නොතිබුණත් වැඩි කලක් යන්නට පෙර ඔහු තුළ කිසියම් විශේෂයක් ඇති බව කටින් කට ප්‍රචාරය වන්නට විය.

ආරම්භයේ දී පුද්ගලයන් නිල්ලඹට ආවේ භාවනාව උගැන්මටය. එහෙත් කල් යත්ම ඔවුන්ගේ පැමිණීම ගොඩ්වින් නිසාම සිදුවන්නක් බවට පත් විය. 1980 ගණන්වල මැද භාගය වන විට ගොඩ්වින් කෙතරම් ප්‍රසිද්ධියක් ලබා තිබුණේ ද යත්, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ එක්සත් රාජධානියේ උගන්වන්නට එන්නැයි ඔහුට ආරාධනා ගලා එන්නට විය. පසුව ඒ ඇරයුම් අප්‍රිකා, හොංකොං, තායිවානය සහ සිංගප්පූරුව යන රටවලින් ද ඉදිරිපත් විය. විවිධ මධ්‍යස්ථානවල භාවනා ඉගැන්වූ ඔහුගෙන් උගත් අය අතර ක්‍රිස්තියානි පූජකවරු සහ දේවගැතිවරු ද , චීන මහායාන බෞද්ධයෝ ද වූහ. 1990 ගණන්වල පුළුල් වෙමින් පැවති නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට දේශීය හා විදේශීය භාවනායෝගීන් වඩ වඩාත් පැමිණෙන්නට වූහ.

මා ගොඩ්වින් ගැන දැන සිටි කාලය පුරාම කිසි විටක කිසිවකු පිළිබඳ ව අහිතකර වචනයක් කියනවා හෝ කේන්තිය, නොරිස්සුම නොහොත් ප්‍රතික්ෂේපය පිළිබඳ හෝඩුවාවක් පවා ඔහුගෙන් මට දැක ගත නොහැකි විය. මෙය ඔහු හොඳ වන්නට, විනීත වන්නට තැත්කිරීම නිසා වූවක් යයි මම නොසිතමි. ඔහු වැනි පුද්ගලයන් පිළිබඳ අතිශය සංවේදී කෙනෙකු මෙසේ ක්‍රියා කිරීමට හේතුව හුදෙක් අනෙක් පුද්ගලයන්ගේ නිශේධනීය ලක්ෂණ ඔහු කෙරේ කිසිදු බලපෑමක් කරන්නට සමත් නොවීමය. ඔහු කිසි විටක නොඉවසිලිමත්ව, චිත්ත පීඩාවෙන්, කෝපයෙන් හෝ කළකිරීමෙන් සිටිනවා මා දැක නැත. ඔහු ඔහුගේ මවට ඉතා ලැදිව සිටියේය. එහෙත් 1977 ජූලි 20 වැනි දා ඇය අභාවප්‍රාප්ත වූ කල්හි පැය භාගයක් පමණ ඉකිගසමින් සිටි ඔහු ඉක්බිති සුපුරුදු තැන්පත් විලාසයට පත් වූයේය. අවමඟුලේදීත්, සත්දින පින් පැමිණවීමේ චාරිත්‍රයේදීත් සිය සහෝදර සහෝදරියන් අඬන්නට හෝ කඳුළු සලන්නට වුවත් ගොඩ්වින් සම්පූර්ණයෙන්ම නිහඬ තැන්පත් බවක් පළ කළේය.

ගොඩ්වින්ගේ වරදක් කිව යුතු නම් මා දන්නේ කිසිවකුට අප්‍රසන්නතාවක් ඇති නොවන ආකාරයට ක්‍රියාකිරීමට ඔහු තුළ පැවති පමණට වැඩි උනන්දුවය. නිල්ලඹ මධ්‍යස්ථානයේ භාවනා යෝගියෙකු කඩාකප්පල්කාරී විදියට හැසිරුණහොත් හෝ පුන පුනා උපදෙස් දීමෙන් පසුව වැඩ සටහන නිසි පරිදි අනුගමනය නොකරන විටත් ඔහුට දොස් පැවරීමේ කටයුත්ත හැකිතාක් දුරට කල් දැමීම ගොඩ්වින්ගේ සිරිත විය. ඔහු පුද්ගලයන් ගැන තදින් ක්‍රියා නොකිරීමේ හේතුවෙන් ඔහුටත් අනෙක් අයටත් සැලකිය යුතු දුෂ්කරතා මතු වූ අවස්ථා කිහිපයක් ද විය. උපදේශනය සඳහා යැයි කියමින් ඔහු හමුවන්නට ඔහුගේ නිවසට පැමිණීමට පුරුදුව සිටි අප්‍රසන්න පුද්ගලයෙකු මගේ මතකයට නැගෙයි. ඇත්ත වශයෙන්ම මේ මනුස්සයාට වුවමනා වූයේ තමා නුරුස්සන වයිවාරණ පුද්ගලයන්ට එරෙහිව පැමිණිලි කිරීමටය. හැම බ්‍රහස්පතින්දාකම ඔහු ගොඩ්වින් වැඩ ඇරී ගෙදර එන තෙක් මඟ බලා සිටින්නේය. ගොඩ්වින්ද වාඩි වී ඒ මිනිසාගේ අඳෝනාව ඉවසාගෙන සිටියේය. විටක ඔහු බලා සිටින බව දැන ගත හොත් ගෙදර නොයා සිටීමට ද ගොඩ්වින් පුරුදු විය. තමාට කළ හැකි උපකාරයක් නැති නිසා නැවතත් නොඑන්නැයි ඒ මිනිසාට කියන්නට ගොඩ්වින් කල්පනා කළේ මාස ගණනක් ගතවූවාට පසුය. ගොඩ්වින්ගේ චරිතයේ තවත් සිත් ගන්නා අංගයක් වූයේ මිනිස් සිත පිළිබඳ කොතරම් ගැඹුරු අවබෝධයක් සහිත පුද්ගලයන් විනිශ්චයට සමතකු වුවත් මිනිසුන් සමග කටයුතු කිරීමේ දී, විශේෂයෙන් ඔහු රවටන්නට තැත් කරන්නන් සමග ක්‍රියා කිරීමේ දී ඔහු වෙතින් පළ වූ පුදුම විදියේ බොළඳ ගතියකි. හොඳ හිතින් ක්‍රියා කරන අතිශය අවංක මිනිසකු වූ ගොඩ්වින් අනෙක් අය අවශ්‍යෙයන්ම තමා බඳු නොවේ යයි සිතන්නට අසමත් විය. මේ නිසා ඔහු ගන්නා තීරණ වැරදි වූ අවස්ථා ද ඇත.

කලක් තිස්සේ අක්මාවේ ආබාධයකින් පෙළෙමින් සිටි ගොඩ්වින් ඒ නිසාම අනුක්‍රමයෙන් දුර්වල වී වෙහෙසට පත්වන්නට පටන් ගත්තේය. මෙය ජීවිතයට හානිකර තත්වයක් බව දැන සිටියත් ඔහු ලොව පුරා කළ යුතුකටයුතුවල දිගටම නිරත වූයේය. 2000 පෙබරවාරි මාසයේ දකුණු අප්‍රිකාවේ මාස තුනක සංචාරයකින් පසු පෙරලා පැමිණි ඔහු මඳක් තර වී සිටියේය. ඔහුගේ සුහද මිතුරන් වූ හරිලාල් සහ විශාකා වික්‍රමරත්න සමග නැවතී සිටි ඔහු ඔවුන් විසින් විශේෂඥයකු වෙත කඳවාගෙන යනු ලැබූ අතර විශේඥයා ප්‍රතිකාරද නියම කළේය. එහෙත් මේ විශේෂඥයා වෙත යාම නිසා තමාගේ දීර්ඝ කාලීන පවුලේ වෛද්‍යවරයා අමනාප වේ යයි සිතූ ගොඩ්වින් ඔහු වෙත ද යා යුතු බව කියා සිටියේය. මේ දෙවැනි වෛද්‍යවරයා නිර්දේශ කළේ සපුරා වෙනස් ප්‍රතිකාරයකි.

 දෙසතියකට පසු ගොඩ්වින්ගේ කාමරයෙන් නිකුත් වූ ශබ්දයක් ඇසුණු හෙයින් හරිලාල් ඒ ගැන විමසන්නට ගියේය. ඔහු දුටුවේ ඇඳ මත අබල දුබලව වැතිර සිටින ගොඩ්වින්ය. එදා උදේ ඉන්දියාවේ සිට ආපසු පැමිණි මම ගොඩ්වින් රෝහලට ඇතුළු කරන ලද බව දැන ගත් විගස නුවර බලා ගියෙමි. වෙහෙසට පත්ව වැතිර සිටියත් ගොඩ්වින් සුපුරුදු ප්‍රීතියෙන් සිනා සෙමින් සිටිනු දක්නට ලැබිණ. මේ මා ඔහු දකින අන්තිම වතාව වන බව එවේලේ නොදත්තෙමි. පසුව සිහි නැතිව ගිය ඔහු දැඩි සත්කාර ඒකකයේ පැය 48 ක් ම අක්‍රිය තත්වයේ සිටියේය. පසුව සිහිය ලබාගත් ඔහු රෝහලෙන් පිට කරනු ලැබ වික්‍රකමරත්නගේ නිවසට පැමිණි පසු, ඔවුහු රෝගියා බලන්නට බොහෝ දෙනා පැමිණෙන්නට වුවත් ඔහුට විවේක ගැනීමට සලස්වන්නට හැම තැතක්ම දැරුහ.

රෝහලේ සිටියදී ඔහු විශාකා වික්‍රමරත්න සමග මෙසේ පවසා ඇත. ''මම අනෙක් අයට හුඟක් වැඩ කළා. දැන් මා ගැන යමක් කළ යුතුයි''. දෙසතියකට පමණ පසු යළිත් අකුිය තත්වයට වැටුණු ඔහු පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබීය. දින දෙකකට පසු විශාඛාට උපුල් ගමගේ ගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් කියවුණේ වහාම රෝහලට ඒමටය. ඇය එහි ළඟා වූ විට ඒ දෙදෙනාම ගොඩ්වින් සිටි කාමරයට ගියහ. එහෙත් ඔහු විනාඩි කිහිපයකට කලින් අවසන් හුස්ම හෙළා තිබුණේය. මට ඔවුන්ගෙන් ඇමතුමක් ලැබුණේ වහාම රෝහලට එන ලෙසටය. විනාඩි විස්සකට පමණ පසු මා රෝහලට ගිය විට ෆීලික්ස්, උපුල් සහ විශාඛා යන අයගේ මුහුණුවලින්ම සිදු වූ දෙය අවබෝධ විය. ඔවුන් සිටියේ සුදුමැලි වූ කඳුළු පිරි මුහුණින් යුතුවය. 2000 මාර්තු 22 වැනි දින පෙ.ව 9.30 ට ගොඩ්වින් අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකාවේ සිරිත වූයේ පවුලේ උදවියට සහ හිතවතුන්ට අවසන් ගෞරවය දක්වනු වස් මෘත දේහය දින දෙක තුනක් තබා ගැනීමය. එසේ වුවද මරණයෙන් පසු හැකි තාක් ඉක්මනට අවමඟුල සිදු කළ යුතු බවට ගොඩ්වින් විසින් කල්තියා උපදෙස් දී තිබුණේය. ඒ අනුව අභාවප්‍රාප්ත වූ දිනට පසු දින ඔහු ආදාහනය කරනු ලැබීය. ඒ දිනම පුවත්පත්වල කුඩා දැන්වීමක් පළ වුවද, මහනුවර නගරය පුරා මේ පුවත කටින් කට පැතිරීම නිසා මහයියාව සුසාන භූමියට හය සියයකට අධික පිරිසක් රැස් වූහ.

මා අවමඟුලට පැමිණි විට මා වෙත ආ ගොඩ්වින්ගේ සොයුරු ෆීලික්ස් කටයුතු සිදු කළ යුත්තේ කෙසේ දැයි මගෙන් ඇසුවේය. අවමඟුල් චාරිත්‍ර පැවැති විමට මට කියනු ඇතැයි බලාපොරොත්තු නොවූවත් මොහොතක් කල්පනා කිරීමෙන් පසු මා ඔවුන්ට යෝජනා කළේ නිශ්ශබ්දතාවය ඒ තරම් අගය කළ ගොඩ්වින් බඳු පුද්ගලයෙකු වෙනුවෙන් විනාඩි පහළොවක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සුදුසු බවයි. ෆීලික්ස් එයට එකඟ වූයෙන් ඒ විදියේ දැනුම් දීමක් කරනු ලැබීය. අපි නෙත් පියාගෙන, හිස පහත් කරගෙන, අපට මේ තරම් දෙයක් දුන් පුද්ගලයා සිහි කරමින් නිහඬව සිටියෙමු.

විනාඩි කිහිපයකින් පිරිස අතරින් මතු වූ පුද්ගලයෙක් මහ හඬින් දීර්ඝ දේශනාවක් කරන්නට පටන්ගත්තේය. මේ නොදන්නා කථිකයා ඇඟිල්ලක් ඔසවා ගෙන දිගටම තකතා කරන්නට වූ කල්හි, මා සිටයේ කේන්ති ගන්නට බැරි තරම් ශෝකයෙනි. එහෙත් ඔහුගේ මහා ඝෝෂාව අප්‍රසන්න ආක්‍රමණයක් වන බව මට ද පෙනී ගියේය. පිරිස අතර බොහෝ දෙනාගේ මුහුණුවලින්ද පෙන්නුම් කරන ලද්දේ එබඳුම හැඟීමකි. හිටි හැටියේ මට මතක් වූයේ මිනිසුන්ගේ මෝඩකම් සම්බන්ධයෙන් කෙබඳු අවබෝධයක් ගොඩ්වින් වෙතින් ප්‍රකාශ වූයේ ද යන්නය. බොහෝ විට එහි ඇති විකට ස්වරෑපය දකින්නටත් ඔහු සමත් වූ බවය. උඩ සිට අප දෙස බලාසිටින ගොඩ්වින් මේ පුද්ගලයාගේ ගෝරනාඩුව දැක මෙසේ කියන සැටි මම සිතින් මවා ගතිමි. ''ස්වාමින් වහන්ස, ඒ මනුස්සයා ඔහෙම කරන්නේ දැනුවත්ව කියා ඔබ වහන්සේ කල්පනා කරනවාදැයි'' කියා අර විකට සිනාවෙන් සිනාසෙන සැටිය. ඒ සිතිවිල්ල මගේ දොම්නස මඳක් සැහැල්ලු කරන්නට සමත් විය. අනතුරුව කිසියම් පුද්ගලයෙක් අර මනුස්සයාගේ අතින් අල්ලා කතාව නවත්වන්නැයි ඔහුට කොඳුරා කීවේය. ඔහු නැවැත්විය. විනාඩි පහළොව ගෙවි ගිය පසු ගොඩ්වින්ගේ සහෝදරයා සහ බෑනාවරු දෙණ ඔසවා ගෙන ගොස් සුසානාගාරයට ඇතුළු කොට  දොර වැසූහ. අපි සියලු දෙනාම අපගේ මිතුරා සහ ගුරුවරයාට දක්වන අවසන් ගෞරවය වශයෙන් කරණීය මෙත්ත සූත්‍රය ගායනා කළෙමු. ඉක්බිති එක් කෙනා බැගින් පිට වී ආවෙමු. දවස් කිහිපයකට පසු විශාඛා වික්‍රමරත්න ගොඩ්වින්ගේ අළු රැගෙන ගොස් නිහඬව ගලා යන මහවැලි නදියේ ජලයේ බහාලුවාය.

දැන් ගොඩ්වින්ගේ අභාවයෙන් අවුරුදු හතරක් ගතවී ඇත. එහෙත් මා ඔහු ගැන කල්පනා නොකරන දිනක් තාමත් තිබුණේ නැත. මා සතු ගතිගුණ එකක් හෝ දෙකක් ඔහුගේ අවවාද හා ආදර්ශය නිසා ඇති කරගත් දේ බව විශ්වාසය. මමත්වය, නිශේධනීය ආවේග, නොවැදගත් විජිගීෂාව සහ භීතිය යන මේවා අතික්‍රමණය කරමින් සැබැවින්ම ප්‍රීතිමත් ආදරයට පාත්‍රවන පුද්ගලයෙකු බවට බත්විය හැකි බව තමාගේම පැවැත්මෙන් මට පෙන්වා දීමට ගොඩ්වින් සමත් විය. මට නම් බුදු දහම ක්‍රියාත්මක කළ හැකි බවට ජීවමාන සාක්ෂියක් වූයේ ඔහුය. දැන් මම 55 හැවිදිරි කෙනෙක්මි. මා දිවිය දෙස ආපසු හැරී බැලීමේදී මට කිසියම් දෙගිඩියාවකින් තොරව කිව හැක්කේ අන් කිසිවෙකුට වඩා මා ගොඩ්වින්ට ණය ගැති බවය. මට දැන හඳුනා ගැනීමේ වරප්‍රසාදය හිමි කර දුන් අය අතර නුවණින් හා කරුණාවෙන් වඩාත්ම පිරුණු පුද්ගලයා වූයේ ගොඩ්වින් බවය.

- එස් ධම්මික හිමි