අපගේ ආරම්භය

         1970 දශකයේ අග භාගයේ දී මහනුවර මිතුරු කණ්ඩායමක් පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉංජිනේරු බංගලාවට සතියකට දෙවරක් එක්රැස්වී භාවනාවේ යෙදීමට පුරුදු වී සිටියේය. කණ්ඩායම් නායකයා වූයේ 'ලොක්කා' යන හුරතල් නමින් හැඳින්වූ රත්නායක මහතාය. අනෙක් අය අතර එස්.ධම්මික ස්වාමීන්වහන්සේ, ගොඩ්වින් සමරරත්නමහතාආචාර්ය්‍ය පරාක්‍රම ප්‍රනාන්දු මහතා, මහාචාර්ය්‍ය ලිලී ද සිල්වා මහතා, පැට් ජයතිලක මහතා සහ මහාචාර්ය විතානච්චි මහතා ද වූහ.

        කල්යාමේ දී භාවනාව සඳහාම සකස්වුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ගැන ඔවුහු සාකච්ඡා කළහ. එහෙත් එයට තිබූ ඉඩ කඩ  සීමිත විය. 1977 දී විශ්ව විද්‍යාල අධිකාරීහු ඉංජිනේරු බංගලාව වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය හෙයින් අපට ඉවත් වීමට දැනුම් දුන්හ. එවකට නුවර පෙදෙසේ සිටි ධනවත් ව්‍යාපාරිකයෙකු වූ පී. බී අලහකෝන් මහතා සහ එම මැතිනිය භාවනා කණ්ඩායමට එක්වූයේ මේ දැනුම් දීමට ආසන්න කාලයේ දීය. එම කණ්ඩායම එතනින් ඉවත් වන විට අලහකෝන් මහතා ඔවුන් සඳහා ඉඩමක් පරිත්‍යාග කිරීමට පමනක් නොව එහි භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය වියහියදම් දැරීමටද ඉදිරිපත් විය. ඔහුගේ නොපසුබස්නා උත්සාහය නිසා ඉක්මනින් එය තනා නිම කළ හැකි විය. එය සම්පූර්ණ කළ පසුව එවක ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජැක් කොන්ෆීලඩ් සහ ජෝසප් ගොල්ඩ්ස්ටන් යන දෙදෙනාට පළමුවෙනි භාවනා පන්තිය පැවැත්වීමට ආරාධනා කරන ලදි. විදේශිකයන් ඇතුළු 60 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් ඒ භාවනා වැඩසටනහට සහභාගි වූහ. ඒ අවදියේ මධ්‍යස්ථානයේ තිබුණේ එක් ශාලාවක් සහ එයට යාබද කුස්සියක් පමණි. මාස 18 ක් පමණ යනතුරු භාවනායෝගීන් භාවනා කළේත් නිදාගත්තේත් ඒ ශාලාව තුළය.

        පළමු භාවනා පන්තිය සාර්ථකව නිම කළ පසු නිතිපතා භාවනා පන්ති පැවැත්වීමට තීරණය කරන ලදි. වෙනත් භාවනා ගුරුරුන් නොසිටි හෙයින් මාසයේ පළමුවෙනි දින සිට දින 10 යේ භාවනා වැඩසටහන් පැවැත්වීමට එස් ධම්මික ස්වාමින්වහන්සේ ඉදිරිපත් වූහ. නිල්ලඹ මධ්‍යස්ථානය භාවනාවට හිතකර වාතාවරණයක් සහිත තැනක් බව කටින් කට පැතිරයාමට වැඩි කලක් ගත නොවීය. 1979 දී රැකියාවෙන් විශ්‍රාම ගත් ගොඩ්වින් සමරරත්න මහතා නිල්ලඹ මධ්‍යස්ථාන කළමනාකරු වශයෙන් කටයුතු කිරීමට පටන් ගත්තේය. මෘදු ගුණ සහිත නිහඬ පුද්ගලයෙකු වූ ගොඩ්වින් සමරරත්න මහතා අනුක්‍රමයෙන් භාවනා ගුරුවරයෙකු බවට පත්විය. ඊළඟ වසර තුළ දී  නිල්ලඹ මධ්‍යස්ථානයට ජාත්‍යන්තර කීර්තියක් හිමි වූයේ මූලික වශයෙන් ගොඩ්වින් සමරරත්න මහතාගේ සුවිශේෂ වූ පුද්ගලික ගතිගුණ නිසාය. මධ්‍යස්ථානයට මුහුණ පාන්නට සිදු වූ සුළු බාධක පමණක් නොව බරපතල අවස්ථාත් සිනාමුසු මුහුණින් ඉවසා දරාගෙන එය නොනවත්වා පවත්වාගෙන යාමට ගොඩ්වින් සමරරත්න මහතා සමත් විය. සැබැවින්ම එය දිනෙන් දින දියුණු විය. දැන් ගොඩ්වින් සමරරත්න මහතා වියෝවී දොලොස් වසරක් ගිය පසුව පවා ඔහුගේ නුවනින් හා දයාවෙන් ඵල ප්‍රයෝජන ලබාගත් පුද්ගලයෝ නිල්ලඹ මධ්‍යස්ථානය ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරති. බොහෝ දෙනා තමන්ගේ භාවනාවට නව පණක් ලබාගනු වස් වරින් වර නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණෙති.

ගොඩ්වින් සමරරත්න මහතා

      ගොඩ්වින් සමරරත්න 1932 සැප්තැම්බර් 6 වැනි දින මහනුවර දී උපත ලද්දේය. මහනුවර ආසන්නයේ පිහිටි හන්තාන කඳුයායේ පිහිටි තේ වත්තක ප්‍රධාන ලිපිකරු වූයේ ඔහුගේ පියාය. මව උඩරට චාම් ගෘහිනියක් වූවාය. ඔහුට සොහොයුරෝ තිදෙනෙක් සහ සොහොයුරියෝ සිවු දෙනෙක් සිටියහ. ඔහුගේ නැඟනියක ළමා කාලයේදීම මිය ගිය අතර සහෝදරයෙක් තමාගේ විවාහය දා රිය අනතුරකින් මිය ගියේය. දැනට ජීවතුන් අතර සිටින සොහොයුරියෝ තිදෙනා ඩොරති, මැටිල්ඩා සහ ලක්ෂ්මී නමින් හඳුන්වනු ලබති.  ජීවතුන් අතර සිටි සොහොයුරන් දෙදෙනා වූයේ ගොඩ්වින් හා ෆීලික්ස්ය. ඒ පවුල වාසය කළේ මහනුවර නගරයේ සිට පයින් යා හැකිතරම් දුරක පේරාදෙණිය පාරේ පිහිටි සාමාන්‍ය විදියේ නිවසකය. ළමා වියේ පටන් ම ගොඩ්වින් බුහු දහම පිළිබඳ උනන්දුවක් දැක් වූ බව සියල්ලෝම පිළිගනිති. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ ශ්‍රද්ධා සම්පන්න මවගේ ආදරයයි. සැම පොහොය දිනකම මව සමග පන්සල් යන ඔහුට එහි වාඩි වී බණ ඇසීමට අනිත් ළමයින් සමග සෙල්ලම් කිරීමට වඩා රුචි විය.......

පී. බී අලහකෝන් මහතා

        නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට එද්දී ඔබ දුටු නිල්ලඹ වතුයායේ හිමිකරු වූයේ අලහකෝන් මහතාය. තේ, කෝපි සහ කරදමුංගු වවන මේ වත්ත ඉතා සශ්‍රීක එකක් විය. එය ශ්‍රී ලංකාවේ අනර්ඝතම කෝපි නිෂ්පාදනය කරන ලද එක් ස්ථානයක් විය. තමාගේ වත්ත බලන්නට ආ බොහෝ අවස්ථාවන්හිදී මධ්‍යස්ථානයට ඒමට ද අලහකෝන් මහතා පුරුදුව සිටියේය. එහෙත් රෝගාතුර වූ පසු එසේ ඒමට අපහසු විය. කලින් පැමිණි විට අපට පෙනී ගියේ ඔහු ස්ථානය ගැන දැක්වූ දැඩි උනන්දුවය. නිවසට පෙරලා පැමිණි පියකු දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය ගැන විමසන්නාක් මෙන් මධ්‍යස්ථානයේ නඩත්තුව හා මුදල් තත්වය ගැන විමසන ආකාරයය.....