උපුල් මහතා විසින් පවත්වනු ලැබූ භාවනා වැඩ සටහන්, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ජා ඇසීමට
නිල්ලඹ දේශනා වෙබ් අඩවියට පිවිසෙන්න

"ලද දෙයින් සතුටු වෙමු" දේශනයෙන්

.....තණ්හාව සරණ යන කෙනා හැමදාම සිටින්නේ මදියි කියන තැනයි. තව ටිකක් ඕන කියන තැන. තව එකක් ඕන. ඒ එක ලැබුණාම සම්පූර්ණයි. එය කවදාවත් ලැබෙන්නේ නැති දෙයක්. මක්නිසාද මේ අතෘප්තියෙන් පිරුණ මනස  කියන්නේ සිදුරු වූ බාල්දියක් වගේ දෙයක්. එතකොට සිදුරු වූ බාල්දියකට කළ්‍යාණ මිත්‍රවරුනි, මහ සමුදුර හැරෙව්වත් පිරෙන්නේ නැහැ. ......ඒ නිසා තමයි අපි භවයෙන් භවයට යන්නේ. ඒ අතෘප්තිය නිසා. ගිය භවයේ අපට නොලැබුණු දේවල් පිළිබඳ දිග ලයිස්තුවක් අතේ තියාගෙනයි අපි මැරෙන්නේ. ලබාගන්න බැරිවුණු දහසකුත් එකක් දේවල්, පත්වෙන්න බැරිවුණු දහසකුත් එකක් තත්වයන්. ඒ සියල්ල පිළිබඳ ආශාවෙන් සුසුම් හෙළමින්, පසු තැවෙමින් ඒ සියල්ල නැවත ලබාගන්නට ඕන කියන ඒ දැල්වුණු ආශාවෙන් තමයි කෙනෙකු මිය යන්නේ.  ඒ ලයිස්තුවෙන් කීයක් හෝ අනේ මේ ආත්මයේදී වත් ඉෂ්ඨ කරගන්න පුළුවන් කියන ඒ බලාපොරොත්තු ලේඛනයේ තමයි අප ඉන්නේ......

"භාවනාවට මනස සකස් කිරීම" ආනාපානසති සංඥාව ග්‍රන්ථයෙන්
.....නමුත් කළ්‍යාණ මිත්‍රවරුනි අපිට පුළුවන්ද ඕනෑම කෙනෙකුට කියන්න "ආ දැන් භාවනා කරන්න වාඩිවෙන්න" කියා. ඉගෙන ගන්න ළමයෙකුට, එහෙම නැතිනම් රැකියාවක් හොයන කෙනෙකුට, විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙකුට, දූ පුතුන්ට පාසැල් හොයන ඒ අයගේ අධ්‍යපනය වෙනුවෙන් වෙහෙසෙන, ඒ අයගේ විවාහ කටයුතු ගෙවල් දොරවල් හදාගැනීම ගැන වෙහෙසෙන, දේශපාලනය යුද්ධය ආදී අප ලෞකිකයි කියා කියන, එබඳු වූ අපේක්ෂාවන්ගෙන් පිරුණු එයම ජීවිතය සේ දකින කෙනෙකුට කිව්වොත් "ඔය ඉගැනීම නවත්වන්න පොඩ්ඩක් විවාහය පසුපස දිවීම නවත්වන්න, මුදල් පසුපස ලුහුබැඳීම නවත්වන්න, ගේ හැදීම ගැන හිතන්න එපා, පාළු හුදකලා තැනකට යන්න, පලක් බැඳගෙන බිම වාඩිවී කොන්ද කෙලින් තියාගෙන හුස්ම ඇතුල්වීම පිටවීම දැනගන්න" කියා......

 "භාවනා පුහුණුව හැඳින්වීම" නිවෙන සිත ග්‍රන්ථයෙන්

 .....ඕනෑම වෙලාවක බලන්න කිසියම් ප්‍රශ්නයක් මතු වුනාද? අපේ සම්බන්ධකම් නිසා ඇතිවූ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කවුරුන් සමග හෝ නැතිනම් මොනවා හෝ දෙයක් එක්ක, පිහියකින් පාන් පෙත්තක් එළවළුවක් කපනකොට ඇඟිල්ලක් කැපුනා කියන්න. නැතිනම් උදැල්ලකින් කොස්සකින් වැඩකරනකොට හරි ප්‍රශ්නයක් වුනාද? එතන සිහිය අඩුවීමයි තියෙන්නේ. අප යම්තාක් හදාගත්තා නම් ගැටුම් ප්‍රශ්න අප එක්කත්, අනුන් එක්කත්, බාහිර දේවල් එක්කත් ඒ සිහිය අඩුවීම නිසයි.  .....ඒ නිසා කළ්‍යාණ මිත්‍රවරුනි, මේ මනුෂ්‍යත්වයේ උපරිම ඵල නෙලා ගන්නට ඒ සිහි නුවණ තියෙන්නටම ඕන. .....හිත එකඟ වුනේ නෑ කියා භාවනාව අසාර්ථකයි කියන නිගමනයට එන්නත් එපා. හිත එකඟ කරගන්න ඕනෑවට වඩා වීර්යය කර කායික මානසික පීඩනයක්, ආතතියක් හදාගන්නත් එපා..... මේ වර්තමානය පිළිබඳව, මේ මොහොත පිළිබඳව දැනුවත්ව සිටීමයි භාවනාවෙන් කෙරෙන්නේ...

  උපදේශන සහිත භාවනාවකින්(Guided meditation)

අතීතයේ සිය දහස් වාරයක් කල්පනා කළ ඒ සිතිවිලි, නැවත ඔබ වෙතට ඇවිත් ඔබේ අවධානය පැහැර ගන්නට උත්සාහ කරාවි. ඒ පිළිබඳ සාවධාන වෙන්න. ඒ කල්පනාවන් සිහියෙන් අඳුනා‍ගෙන අතහරින්න. කල්පනා කරන සිතින් ඔබ නිදහස් වුවහොත් පමණයි මේ මොහොතේ සිදුවන ආශ්වාස ප්‍රශ්වාස ඔබට දැනෙන්නේ...........

මතකයන් සහ සිතිවිලි යනු ඇත්තක් නොවෙයි. ඔය කිසිම සිදුවීමක් මේ මොහොතේ සිදුවන්නේ නැහැ. මනසින් අතීත ජවනිකාවල ජීවත් වීම අතහරින්න............

කිසිදු දුකක්, ශෝකයක්, වේදනාවක් ලතැවුලක් හෝ දොම්නසක් නැති මේ මොහොතේ සජීවීව ජීවත් වෙන්න ආශ්වාසයේ උදව්වෙන් සහ ප්‍රශ්වාසයේ උපකාරයෙන්.............

ආශ්වාසයේදී සිතුවිලි අතහරින්නට පුහුණුවන්න......... ප්‍රශ්වාසයේදීත් සිතුවිලි අතහරින්නට පුහුණු වන්න..........